Sunday, August 30, 2015

දකුණු කොරියානු රැකියා සඳහා අයදුම් කිරීමට වෘත්තිකයින්ට/උපාධිධාරීන්ට නොහැකිද?

වර්තමානයේ අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගය වන්නේ විදේශයන්හි රැකියාවල නියැලෙන ශ්‍රී ලාංකිකයින්ය. එබැවින් ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන් ‘රටවිරුවන්’ වශයෙන් ඔවුන්ව හඳුන්වනු ලබයි. නමුත් මගේ පුද්ගලික අදහස නම් ඔවුන්ට කල හැකි ලොකුම ගෞරවය වන්නේ රට පුරා සිටින හොර ඒජන්සිකාරයින්ව ඇල්ලීමට විධිමත් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමත් එක් එක් තනතුර අනුව අවම වැටුප් නියම කිරීමත්, විදේශයන්හි ඇති අප තානාපති කාර්යාලවල කාර්යක්ෂමතාව වැඩි කිරීමත්ය. ඊට තවත් බොහෝ දේ එක් කිරීමට ඇත. නමුත් මා ලිවීමට අදහස් කලේ එය නොවන බැවින් ඒ ගැන කතා කිරීම නවත්තමි.

එකල අප රටේ විදේශ විනිමය සංචිත අපනයන මත රඳා පැවතුනද, අයහපත් ආර්ථික ප්‍රතිපත්තීන් නිසාවෙන් වර්තමානය වන විට සියල්ල උඩු යටිකුරු වී ඇත. මේ ගැන කතා කිරීමට පිවිසුනොත් එය දේශපාලනයෙන් කෙලවර වෙන නිසාවෙන් මෙම මාතෘකාවෙන්ද පිට පනිමි.

එසේනම් මෙම පෝස්ටුවේ මාතෘකාවට ප්‍රවිෂ්ට වෙමු. අප රටේ විශාල ජනතාවක් ලොව පුරා රටවල සේවය කරන බව අප කවුරුත් දන්නා කාරණයක්. මේ රටවල් අතුරෙන් වර්තමානය වන විට දකුණු කොරියාවට විශේෂ ස්ථානයක් හිමි වෙමින් පවතින බව දක්නට ලැබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන පරිදි දැනට 25,000 – 30,000 ත් අතර ශ්‍රී ලාංකිකයින් පිරිසක් දකුණු කොරියාවේ සේවයේ නියැලෙති. මිට අමතරව ඉගෙනීම් කටයුතු සඳහාද සැලකිය යුතු පිරිසක් දකුණු කොරියාවේ ජිවත් වෙති. වර්තමානය වන විට දකුණු කොරියාවේ රැකියාවක් ලබා ගැනීමට විශාල උනන්දුවක් හා කැපවීමක් අපගේ තරුණ ප්‍රජාව තුලින් දක්නට ලැබේ. විදේශ සේවා කාර්යාංශය විසින් පවත්වනු ලබන EPS-TOPIK විභාගය සඳහා මෙම වසරේ විශාල පිරිසක් ලියාපදිංචි වූ  නමුත් රැකියා අවස්ථා තිබුණේ  5000 ක් පමණය. මෙසේ තරඟකාරී ලෙස දකුණු කොරියාවට පැන ගැනීමට පොරකන  හේතු මොනවාද? කියන්නට දෙයක් නැත. එය ඉතා සරලය. එනම් ඉහල වැටුපක් ලැබීමට ඇති හැකියාවයි. ඉහත කිව් පරිදි විදේශ සේවා කාර්යාංශය හරහා අපට ලැබෙනුයේ දකුණු කොරියාවේ කර්මාන්තශාලා ආශ්‍රිත රැකියාවන්ය. නමුත් මෙවැනි රැකියා වලින් පවා මසකට රුපියල් 150,000 ක් පමණ උපයා ගැනීමට හැකිය. අප රටේ උපාධිධාරීන්ට පවා මෙය හීනයක් පමණය. එබැවින් දකුණු කොරියාවේ රැකියා සඳහා ඇති ඉල්ලුම ගැන පුදුම වීමට කාරී නැත.

නමුත් පුදුම වීමට මට එක් කාරණයක් ඇත. ඒ කාලයේ , අප රටේ මුඩුක්කු හැඳින්වීමට අප භාවිතා කලේ ‘කොරියාව’ කියායි. එසේනම් ඒ කාලයේ කොරියාවේ තත්ත්වය සිතා ගැනීමට අපට පුළුවන. සමහරවිට එය උතුරු කොරියාව හා දකුණු කොරියාව බෙදී වෙන් වීමට පෙර තත්ත්වය වෙන්නට පුළුවන. මෙසේ බෙදී වෙන් වීමෙන් පසුව දකුණු කොරියාව සීග්‍ර සංවර්ධනයක් අත් කරගත් අතර උතුරු කොරියාව ආර්ථිකය අතින් කඩා වැටුණි. දකුණු කොරියාව අද තාක්ෂණය අතින් ලොව ඉහල ස්ථානයක වැජඹෙයි. රටක් වශයෙන් ඔවුන් මෙසේ ඉහල ස්ථානයක සිටීමට බොහෝ හේතු ගෙන හැර පෑ හැකිය. නමුත් මා දකින ප්‍රධාන හේතුව වන්නේ කොරියානුවන්ගේ ආකල්පය. ඔවුන් කිසිම කම්මැලිකමකින් තොර ජාතියකි. එමෙන්ම ඉතා කඩිසර ජාතියකි. ඔවුන් තම රට ගැන මහත් අභිමානයකින් සිටිති. ජපාන සහ චීන ජාතිකයින් අතරද මෙම ගුණාංග දැකිය හැකිය. ජපානය සහ චීනයද දියුණු රටවල් බව අප දන්නා කරුණකි.

හොඳ වැටුපක් සහිත රැකියාවක නිරත වී යමක් ඉතුරු කර තම පවුලේ සංවර්ධනය උදෙසා ඒවා යෙදවීමට අප කව්රුත් කැමතිය. තම ආදරණීයයන් සමග සිටිමින් එසේ ඉපයීමට හැකි වේ නම් අප ඉතා සතුටුය. නමුත් ලංකාවේ සිට එම අරමුණු ලඟා කරගැනීමට අප බොහෝ දෙනෙකුට අපහසුය. එබැවින් පිටරට රැකියාවල පිහිට පැතීමට අපට සිදුව ඇත. රටේ බොහොමයක් වෘත්තිකයින්ද රට හැර ගොස් ඇත. එබැවින් රටේ බුද්ධි ගලනය සෑහෙන ඉහල මට්ටමක පවතී.



ඔබ දකුණු කොරියාවට යාමට අදහස් කරන්නේ නම්, ඔබට ඇති ප්‍රධාන බාධකය වන්නේ කොරියන් භාෂාවයි. දකුණු කොරියාවේ වැඩ කටයුතු කරගෙන යාමට ඔබට අනිවාර්යයෙන්ම කොරියානු භාෂාව අවශ්‍ය වේ. ඔවුන් ඉංග්‍රීසි බස පාවිච්චි කරන්නේ ඉතා අල්ප වශයෙනි. එමෙන්ම බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බැරිය. කොරියාවේ රැකියා ලබා දීමේදී TOPIK (Test of Proficiency in Korean) විභාගය අනිවාර්‍ය වන්නේ එම නිසාවෙනි. TOPIK විභාගයෙන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් විවිධ රැකියා වලට තෝරාගත් අපේක්ෂකයින්ව යොමු කරනු ලබයි. මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

මෙම ලිපිය ලිවීමට මා ප්‍රධාන වශයෙන් අදහස් කලේ මටද යම් තොරතුරු කිහිපයක් දැන ගැනීමට අවශ්‍ය වූ නිසාවෙන්ය. අප රටට දකුණු කොරියාවෙන් ලැබෙන රැකියාවන් කම්කරු වර්ගයේ ඒවාය. වෘත්තිකයන් සහ උපාධිධාරීන් සඳහා රැකියා නොලැබෙන්නේ ඇයිද යන්න මට ඇති ප්‍රශ්නයකි. ලොකු කමකට කියනවා නෙමෙයි. මමත් උපාධිධාරියෙක්.  මමත් දකුණු කොරියාවේ රැකියාවක් සඳහා යාමට කැමැත්තෙන් සිටින්නෙමි. මිට පෙර මම කටාර් වල සේවය කලෙමි. දැන් මාලදිවයිනේ සේවය කරන්නෙමි. නමුත් වර්තමාන රැකියාව පිළිබඳව මම තෘප්තිමත් නැත. මම සේවය කරන්නේ මාලදිවයිනේ ප්‍රධාන දිවයින වන මාලේ ය. මම සිතා සිටියේ එය ඉතා ලස්සන එකක් බවයි. නමුත් මෙම දිවයින මෙලෝ රහක් නැති එකකි. බලන්නට කිසිම දෙයක් නැත. මුළු දුපත වටේම ගොස් ඒමට උපරිම පැයක් ගත වේවි. එය එතරම් පොඩිය. පාරවල් සෑහෙන පොඩිය. මෝටර් බයික් වලින් පාරවල් පිරිලාය. විනෝදයට කිරීමට කිසිම දෙයක් නැත. මෙහි අරක්කු තහනම්ය. නමුත් දකින දකින හැම එකා අත සිගරට් එකක් ඇත. මම හුඟක් වෙලාවට පාරේ යන්නේ හුස්ම තද කර ගෙනයි. බොහොමයක් පිරිමි කුඩුකාරයෝය. මට නම් සල්ලි කොච්චර හම්බ වුනත් ජිවත් වීමට ඇති පරිසරය හරි නැත්නම් එම රැකියාවෙන් වැඩක් නැත.

ඉතින් මෙම ලිපිය කියවන අයගෙන් ඉල්ලා සිටින්නේ ඔබ මේ පිළිබඳව යමක් දන්නේ නම් එය කමෙන්ට් කරන ලෙසයි. එය මටත් මෙම ලිපිය කියවන අපේ අනෙකුත් සහෝදර සහෝදරියන්ටත් ප්‍රයෝජනවත් වේවි. ඔබ ඉගෙනීමට දකුණු කොරියාවට  යාමට අදහස් කරගෙන සිටිනම්, අන්තර්ජාලය ඇසුරෙන් එරටේ පාසල් හෝ විශ්ව විද්‍යාල පිළිබඳව සොයා අන්තර්ජාලය හරහාම අයදුම් කල හැකිය. ඉගෙන ගන්නා අතරතුර ඔබට පාර්ට් ටයිම් රැකියාවන් කර ඔබගේ වියදම් පියවා ගත හැකිය. එහිදී ඔබට TOPIK විභාගය කිරිමට සිදු වේ. සාමාන්‍යයෙන් පළමු මාස 6 වෙන්වන්නේ ඒ සඳහායි. මාගේ නෑදා මල්ලි කෙනෙක් මෙසේ ඉගෙනීමට යාමට ලංකාවේ කොලේජ් එකක් හරහා අයදුම් කර සිටින්නේය. ඉතින් මේ අවුරුද්ද අවසානයේ ඔහු යාමට නියමිතයි. ඔහු එසේ ගියහොත් ඔහුගෙන් සියලු විස්තර ගෙන ඔබගේ දැන ගැනීම පිණිස මම මෙහි පල කරන්නම්.

එසේම මාගේ යහළුවෙක් දකුණු කොරියාවේ විශ්ව විද්‍යාලයක ගවේෂකයෙක් (Researcher) ලෙස කටයුතු කරනවා. මම ඔහුගෙන් විස්තර ඇසු විට ඔහු කීවේ සයන්ස් අංශයෙන් විශ්ව විද්‍යාල උපාධියක් තිබේ නම් ඒ අයට එවැනි ගවේෂක අවස්ථා රැසක් ඇති බවයි. ඔබට කල යුතු වන්නේ දකුණු කොරියාවේ විශ්ව විද්‍යාලයක සේවය කරන මහාචාර්යවරයෙකුට විද්‍යුත් තැපැලක් යැවීම පමණයි. ඔබ ගවේෂකයෙක් ලෙස කටයුතු කරන කාලයේදී එම මහාචාර්යවරයා විසින්ම ඔබට වේතනයක් ගෙවන බව ඔහු මට කිවේය. ඔබට දැරීමට අවශ්‍ය වන්නේ දකුණු කොරියාවට යාමට ගුවන් ටිකට්පතක් මිලදී ගැනීම පමණයි. අවාසනාවකට, මට ඇත්තේ ගිණුම්කරණ උපාධියකි. මම දන්නා පරිදි මගේ යහළුවාට ඇත්තේ කෘෂිකර්මයට (agriculture) අදාළ උපාධියකි. එබැවින් ඔහු මගේ ක්‍ෂේත්‍රයට අදාළව තොරතුරු දන්නේ නැත.

ඉතින් යාලුවනේ, ඔබ මේ පිළිබඳව කිසියම් තොරතුරක් දන්නේ නම් කොමෙන්ට් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. එසේ නැතහොත් මා හට විද්‍යුත් තැපැලක් එවීමටද ඔබට පුළුවන්. මගේ විද්‍යුත් ලිපිනය - poddekoluwa@gmail.com

මට කිසියම් උදව්වක් ඔබට කල හැකිනම් අනිවාර්යයෙන්ම මම එය කරන්නෙමි. මොකද රැකියාවක් නැතුව මමත් සැහෙන්න කට්ටක් කාපු පොරක්

ඔබට අවශ්‍ය වේ යයි සිතිය හැකි වෙබ් අඩවි කිහිපයක් පහත දක්වා ඇත.


1. සිංහලෙන් කොරියන් භාෂාව ඉගෙන ගැනීමට අඩිතාලමක් සඳහා - http://www.aluth.com/p/korean-learn-in-sinhala.html


2. ඉංග්‍රීසි භාෂාවෙන් කොරියානු භාෂාව ඉගෙන ගැනීම සඳහා - http://www.learnkoreanlp.com/p/learn-korean-language-online.html

3. දකුණු කොරියාවේ සේවය කිරීමට සුදානමෙන් සිටින අයට සහ දැනටමත් සේවයේ නියුතු අය සඳහා - http://www.wedabima.lk/


Wednesday, August 26, 2015

හොල්මන් ගෙදර - දෙවන සහ අවසන් කොටස

පළමු කොටස මෙතනින්

"අපි මේ සෙල්ලම නවත්තලා දාලා ගියොත් නරකද?" එක්වරම බාන්ස් කිවේය. "මම ඔය භූතාත්ම ගැන විශ්වාස කරන්නේ නැහැ තමා. ඒත් මට දැනෙන දෙයින් මම ටිකක් බය වෙලා ඉන්නේ. උඹලට ඕන තරමක් හිනා වෙයල්ලා, පල්ලෙහායින් දොරක් ඇරෙන හඬකුයි පඩිපෙළෙන් අඩි සද්දයකුයි ආවා වගේ මට හොඳට ඇහුනා."

ඔහුගේ වචන අවසන් වීමටත් පෙර අනෙක් තිදෙනාගෙන් මහා සිනා හඬක් පිට විය.

" එනවා එහෙනම්" මිගෙල් කීවේ සමච්චලේටය. "මම උඹට පෙන්නලා ඉවර වෙද්දී උඹ සම්පුර්ණයෙන්ම විශ්වාස කරාවි. එහෙනම්, කව්ද යන්නේ වතුර ගේන්න? උඹට පුලුවන්ද බාන්ස්?"

"බැහැ"

"මේකේ වතුර තිබ්බත් මෙච්චර කල් නිකම් තිබිලා පල් වෙලා ඇති" ලෙස්ටර් කිවේය. "අපි අමුවෙන්ම ගහමු"

මිගෙල් ඔලුව වනා බිම වාඩී  වී බෙලෙක් කෝප්පය දෙසට අත ගෙන ගියේය. දුම් පයිප්ප දැල් වූ නිසා මුළු කාමරයම දුම්කොළ සුවඳින් පිරී ගියේය. වයිට් කාඩ් කුට්ටමක් එලියට ගත්තේය. ඔවුන්ගේ විවිධ කතා සහ සිනහා හඬවල් අවට පැතිරී ගියේය.

"හිස් කාමර නිසා මම හැමතිස්සෙම රැවටෙනවා මට තියෙන්නේ ගැඹුරු කටහඬක් කියලා" මිගෙල් කිවේය. "හෙට මම......"

එක්වරම ඉටිපන්දම නිවී ගොස් යමක් තම හිසේ වදිනු ඔහුට දැනුනේය. ඔහුගෙන් පිට වුවේ එක්වරම හුස්ම හිරවෙන විට පැන නගින හඬකි. බිය වූ අනෙක් තිදෙන ඉද්ද ගැහුවාක් මෙන් සිට ගත්තෝය. සුළු මොහොතකින් මිගෙල් සිනා වෙන්නට පටන් ගත්තේය.

"මේ ඉටිපන්දමනේ, මම ඒක හරියට කණ්ඩියේ ගහලා නැහැ"

බාන්ස් ගිණිකුරක් ගසා නැවත ඉටිපන්දම දල්වා එය තිබූ තැනම නැවත ගැසුවේය. ඉන්පසු තම කාඩ්පත් ටික ගෙන වාඩි වූවේය.

"මොකක්ද මම කියන්න ගියේ? " මිගෙල් කීවේය. "අහ්හ්..හරි හෙට මම...."

"පොඩ්ඩක් අහන්න" වයිට් බාධා කරමින් කීවේ සිය අතකින් මිගෙල්ගේ කබා අතක්ද අදිමිනි. "මට කව්රු හරි හිනාවෙන හඬක් ඇහුණා."

"මේ බලපල්ලා" බාන්ස් පටන් ගත්තේය. "උඹලා මොකද කියන්නේ දැන්වත්, අපි ආපහු යමු යන්න. මට නම් දැන් මේක හොඳටම ඇති. මටත් එක එක අමුතු සද්ද ඇහෙනවා, එළියේ පැසේජ් එකේ මොකෙක් හරි එහෙට මෙහෙට යන හඬක්. මම දන්නවා ඒක මනස්ගාතයක් විතරක් කියලා. වුනාට ඒක නිසා මම හුඟක් අපහසුවෙන් ඉන්නේ"

"උඹට ඕනේ නම් පලයන්" මිගෙල් කිවේය. "අපි නිකම්මු වගේ මේකේ ඉන්නම්. උඹ පහලට බහිනකොට අර අනාතයාගෙන් අහපන් පොඩ්ඩක් අත අල්ලාගෙන ඉන්න කියලා."

බාන්ස් තරහින් වෙව්ලා ගියේය. ඔහු නැගිට බාගෙට වසා තිබූ දොර වෙත ගොස් මදක් කන් දී ගෙන සිටියේය.
"ඉතින් එලියට පලයන්" මිගෙල් අනෙක් දෙදෙනා වෙත ඇසක් ගසමින් කිවේය. "පුලුවන්නම් පල්ලෙහා දොර ලඟට ගිහිල්ලා ආයෙමත් වරෙන්"

බාන්ස් නැවත ඇතුලට පැමිණ ඉටිපන්දම වෙත මදක් නැමී ඔහුගේ දුම් පයිප්පය දල්වා ගත්තේය.

"මම පොඩ්ඩක් කලබල වෙලයි ඉන්නේ. ඒත් හොඳ සිහියෙන් ඉන්නේ" ඔහු කිවේ දුම් උගුරක් වා තලය වෙත මුදාහරිමින්ය. "මගේ ඉව කියන්නේ  එළියේ තියෙන පැසේජ් එකේ මොකෙක් හරි එහෙ මෙහෙ යනවා කියලයි. ඒත් මගේ බුද්ධිය කියන්නේ ඒක නිකම්ම නිකම් විකාරයක් කියලා විතරයි. කෝ මගේ කාඩ් ටික?"
ඔහු නැවත වාඩි වී කාඩ් ටික අතට ගෙන දෙස බලාගෙන සිටියේය.

"වයිට් උඹේ වාරේ" ඔහු කිවේ මද වෙලාවකින්ය.

වයිට්ගෙන් කිසිදු පිළිතුරක් හෝ ප්‍රතික්‍රියාවක් නොලැබුණි.

"මොකද, මිනිහට නින්ද ගිහිල්ලද?" මිගෙල් ඇසුවේය. "නැගිටපන් නාකියෝ, නැගිටලා සෙල්ලම් කරපන්"

ඔහු අසල සිටි ලෙස්ටර් ඔහුගේ අතින් ඇද සෙමින් ඔහුව සෙලෙව්වේය. නමුත් තවමත් ඔහු නිසලය. ඉන්පසු වේගයෙන් ඔහුගේ අතින් ඇද්දද ප්‍රතිඵලය එසේම විය. වයිට් බිත්තියට හේත්තු වී සිටි අතර ඔහුගේ ඔලුව පහලට කඩා වැටි තිබුණි. මිගෙල් ඔහුගේ කණට කර මහා හයියෙන් කෑ ගසා ප්‍රහේලිකාසහගතව අනෙක් දෙදෙනා දෙස බැලුවේය.

"මිනිහා නිදාගෙන ඉන්නේ හරියට මැරිලා වගේ" අනතුරුව ඔහු කිවේ රළු ලෙසය. "හරි, තවමත් අපි තුන්දෙනක්ම ඉන්නවනේ කයියක් දාගෙන ඉන්න"

"ඔව්" ඔලුව වනමින් ලෙස්ටර් කිවේය. "එහෙම නෙමේ නම්..දෙයියනේ! හිතපන්.."

ඔහු වෙව්ලමින් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියේය.

"මොනවද හිතන්නේ? මිගෙල් විමසුවේය.

"මොනවත් නැහැ" ලෙස්ටර් ගොත ගැසුවේය. "අපි මූව අහරවමු. තව පාරක් ට්‍රයි කරමු. වයිට්! වයිට්!"

"මේක එච්චර හොඳ දෙයක් නෙමේ වගේ" මිගෙල් කිවේ සංකීර්ණ ස්වරයෙනි. "මොනවා හරි අවුලක් තියෙනවා මේ නින්දේ"

"ඒක තමා මමත් කිව්වේ," ලෙස්ටර්ද කිවේය. "මිනිහට විදියට නින්ද ගියා නම් ඇයි එහෙනම්..."

මිගෙල් ඉද්ද ගැහුවාක් මෙන් නැගිට්ටේය. "විකාර" ඔහු රළු ලෙස කිවේය. "මිනිහට හොඳටම මහන්සියි. එච්චරයි. මිනිහවත් අරන් මෙතනින් යමු යන්න. උඹ අල්ලපන් කකුල් දෙකෙන් බාන්ස්ට පුළුවන් ඉටිපන්දම අල්ලලා පාර පෙන්නන්න. ඔව්? කව්ද ඔය?" ඔහු වේගයෙන් දොර දෙස බැලුවේය

"කව්රුහරි දොරට තට්ටු කළා වගේ මට ඇහුනේ" ඔහු කිවේ ලජ්ජසහාගත සිනහවක්ද සමගිනි. "හරි ලෙස්ටර් උස්සමු, එකයි, දෙකයි...ලෙස්ටර්! ලෙස්ටර්!"

ඔහු ඉදිරියට පනින විට ප්‍රමාද වැඩිය. ලෙස්ටර් සිය  මුහුණ සිය අත් දෙක මත හොවාගෙන මුනින්තලා අතට බිම වැතිරී සිටියි. මිගෙල් ඔහුව නැගිටුවීමට කෙතරම් උත්සහා කලද ඵලක් නොවිය.

"මිනිහත් නිදි" ඔහු ගොත ගැසුවේය.

බාන්ස් ඉටිපන්දම අතට ගෙන ඉදිරියට නැමී නිදන උන් දෙස බලාගෙන සිටින විට  ඉටිපන්දමෙන් වැක්කෙරෙන ඉටි පොලොව පුරා ගලා ගියේය.

බාන්ස් ඉටිපන්දම අතට ගෙන ඉදිරියට නැමී නිදන උන් දෙස බලා සිටියේය


"අපි මෙතනින් පැනගන්න ඕන" මිගෙල් කිවේය. "ඉක්මන් කරපන්"

"මෙයාලව මෙහෙම දාලා අපිට යන්න බැහැ..."බාන්ස් පැකිලෙමින් කිවේය.

"අපිට යන්න වෙනවා" මිගෙල් ඉතා කර්කශ ලෙසින් පැවසුවේය. "උඹ නින්දට වැටුනොත් මම යනවා..ඉක්මන් කරලා වරෙන්" ඔහු බාන්ස්ගේ අතින් ඇද ඔහුව දොර වෙත ඇදගෙන ගියේය. බාන්ස් ඔහුගේ අත ගසා දමා, ගිණි උදුනේ කණ්ඩිය මත නැවත ඉටිපන්දම ගැසුවේය. ඉන්පසු නිදාසිටි දෙදෙනාව ඇහැරවීමට උත්සහ කළේය.

"වැඩක් නැහැ" අවසානයේදී ඔහු උත්සාහය අතහරිමින් මිගෙල් දෙසට හැරී කිවේය. "උඹත් නින්දට වැටෙන්න එපා හරිද?"

මිගෙල් ඔලුව දෙපසට වැනුවේය. ඔවුන් දෙදෙනා නිහඬව මොහොතක් බලා සිටියේය. "මම දොර වහන්නම්" අවසානයේ බාන්ස් කිවේය.

ඔහු දොර වෙත ගොස් එය සෙමින් අඩවල් කළේය. ඔහුට පිටුපසින් කහින හඬක් සුනෙන් පිටිපස බැලූ විට ඔහු දුටුවේ ලිප්ගලක් උඩ ඔහේ වාඩි වී සිටි මිගේල්වය. ඔහු වැරෙන් හුස්මක් අල්ලාගෙන නොසෙල්වී සිටියේය. කාමරය තුල ඇති ඉටිපන්දම් එලිය සුළගේ නලියමින් තිබූ බැවින් නිදාසිටියවුන් හාස්‍යජනක ලෙස පෙන්නුම් කළේය. කාමරයෙන් පිටත වූ පරිසරය පිළිබඳව විවිධාකාර දේ මනස පුරා විහිදී තිබිමෙන්දෝ ඔහුට අමුතු මහන්සියක් දැනුනේය. ඔහු උරුහන් බෑමට දෙතොල් ලං කලත් ඒවා කරවල මෙන් වේලි තිබුණි. ඉන්පසු බිම පුරා ඉහිරී තිබූ කාඩ්පත් ඇහිඳීමට පටන් ගත්තේය.

ඔහු බිමට නැමී කාඩ්පත් අහුලන අතරතුරේදී දෙතුන් සැරයක්ම සිටි ඉරියව්වෙන් හිඳ සවන්දීගෙන සිටියේය. පිටත තරප්පු පෙළ දෙසින් කිරි කිරි ගාන හඬක් ආවේ යම් කිසිවෙකු කලබලෙන් ඇවිදින ලෙසිනි.

"කව්ද ඔය?" ඔහු සද්ද නගා ඇසුවේය.

ක්‍රමයෙන් හඬ මැකී ගියේය. ඔහු දොර වෙත ගොස් එය වේගයෙන් හැර කොරිඩෝවට පිවිසුණේය. ඔහුට හැඟුනේ තමාව වෙලාගෙන සිටි බිය පහව ගියාක් සේය.

"වරෙන් ඉතින්!" ඔහු කෑගැසුවේ කෙටි සිනහවක්ද සමගින්ය. "උඹලා ඔක්කොම! ඔක්කොම! පෙන්නපල්ලා තොපිලගේ මුණවල්! තොපිලගේ ජරා මුණවල්! හැංගෙන්න එපා යකෝ!"

ඔහු නැවතත් සිනහා වී  කාමරය තුලට ගියේය. ගිණි උඳුන අසලට ගිය ඔහු අත් දෙක හිණෙහි තබා ගෙන නොසන්සුන් ලෙස හිටගෙන සිටියේය. ඔහුගේ කෑගැසීමට පිළිතුරු වශයෙන් නැවතත් අත්භූත අඩිහඬවල් පිටතින් ඇසෙන්නට පටන් ගත්තේය. ඒවායේ හඬ ක්‍රමයෙන් වැඩි වී ලඟට විට නෑසී ගියෙන් මිගෙල් තරමක් සන්සුන් විය.

"නියමයි ලෙස්ටර්, අපි මිනිහව පිස්සු වැට්ටුවා" භීතිය පිරි ස්වරයෙන් ඔහු මිමිණුවේය. "අපි මිනිහගේ පස්සෙන් යන්න ඕන"

ඊට කිසිදු ප්‍රතිචාරයක් නොවූයෙන් ඔහු දෙපයින් සිට ගත්තේය.

"උඹලට ඇහෙනවද? ඔහු ගිරිය යටින් කෑගැසුවේය. "මාව මෝඩයෙක් කරන්න හදන්න එපා. මේක හුඟක් බරපතලයි. වයිට්! ලෙස්ටර්! උඹලට ඇහෙනවද?"

ඔහු මදක් ඉදිරියට බර වී කේන්තිය පිරිණු දෑසින් ඔවුන් දෙස බලා සිටියේය. "එහෙමද?" ගැහෙන ස්වරයෙන් ඔහු කිවේය. "උඹලා දන්නවද? උඹලට බැහැ මාව බය කරන්න."

ඔහු ආපසු හැරී ඔහේ දොර දෙසට පිය නැගුවේය. ඉන්පසු එලියට ගොස් හොරෙන් නිදාසිටින්නවුන් දෙස බලා සිටියද ඔවුන්ගේ කිසිදු චලිතයක් දක්නට නොලැබුනේය. තමාට පිටුපසින් පැතිර තිබූ ඝන අන්ධකාරය දෙස මදක් බලා සිටි ඔහු නැවත කාමරය තුලට ගෑටුවේය.

බිම වැතිර සිටින්නවුන් දෙස තත්පර කිහිපයක් ඔහු බලා සිටියේය. කාමරය පුරා විසිරි තිබූ නිශ්චලතාවය බිහිසුණු විය. හදිසියේ පැන නැගුන සිතුවිල්ලකින්, මිගෙල් කණ්ඩියේ ගසා තිබූ ඉටිපන්දම ගලවා ගෙන වයිට්ගේ ඇඟිල්ලකට ගිනි දැල්ල අල්ලාගෙන සිටියේය. අන්තිමේදී ඔහු තෝන්තුවාවෙන් මෙන් වැඩේ අත්හැරදමනවාත් සමගම අඩි ශබ්දය ඇසෙන්නට පටන් ගත්තේය.

ඔහු ගැහෙන අතින් ඉටිපන්දමද ගෙන ඒවාට සවන් දීගෙන සිටියේය. ඒවා ක්‍රමයෙන් පඩිපෙළ ඉහලට ඇදී එද්දී ඔහු දොර දෙසට පිය මැන්නේය. එවිට ඒවා නෑසී ගියේය.

ඔහු පිටත ගරාදි වැට ළඟ සිට හොඳින් කන් දීගෙන ඉදිරියෙන් වූ ඝන අන්ධකාරය දෙස බලාගෙන සිටියේය. ඉන්පසු සෙමින් සෙමින් අඩි තබමින් පහල තට්ටුව දෙසට පිය මැන්නේ ඉටිපන්දම ඉහලට කර අල්ලාගෙනය.

"බාන්ස්! උඹ කොහෙද?"

බියෙන් ගැහෙමින් පහත මාලයේ වූ පැසේජය හරහා සෙමින් සෙමින් ඔහු ගමන් කළේය. ඉතිරි වී තිබූ අන්තිම ධෛර්ය පොදත් එක්තැන් කරගෙන, වසා තිබූ දොරවල් හැර කාමර තුලට එබී බලමින් ඔහු ඉදිරියටම ගමන් කළේයඅවසානයේ ඔහු කඩතොලු  වූ බිත්ති සහ කැඩී ගිය පොළොවෙන් හෙබි හිස් කුස්සිය වෙත පැමිණ තිබුණිඔහු ඉදිරියෙන් තිබූ ඇතුල් කාමරයක දොරක් ඉබේම වැසී ගියේය. ඔහු වෙත ගොස් වේගයෙන් දොර හැරියේය. හැමූ සිත සුළඟින් ඉටිපන්දම නිවී ගියේය. ඔහු ගල් ගැසුණාක් මෙන් හුන් තැනටම වී සිටියේය.

අවසානයේ ඔහු කඩතොලු  වූ බිත්ති සහ කැඩී ගිය පොළොවෙන් හෙබි හිස් කුස්සිය වෙත පැමිණ තිබුණි.

"බාන්ස්..බය වෙන්න එපා බං..මේ..මම මිගෙල්" ඔහු කෑගැසුවේය.

ඊට කිසිදු ප්‍රතිචාරයක් නොවිය. ඔහු කලුවරේම ඔහේ බලාසිටියේය. තමාට අතේ දුරින් කිසිවෙකු ඇති බව නිතරම ඔහුට දැනුනේය. එක්වරම ඔහුට ඉදිරියෙන් නැවතත් අඩි සද්දය ඇසෙන්නට පටන් ගත්තේය. ඔහු ආපසු හැරුනේය. කුස්සිය පසු කරමින් සිටි ඔහු තමා පහු කරගෙන පටු පැසේජය සොයා ගැනීමට වෙහෙසුණි. මේ වන විට ඔහුගේ ඇස් අඳුරට මදක් හුරුව තිබුණි. අවසානයේ කෙසේ හෝ තරප්පු පෙළ පාමුලට පැමිණීමට ඔහු සමත් වුණි. ඉන්පසු හඬ නොනගින අයුරින් තරප්පු පෙළ නැගීමට ඔහු පටන් ගත්තේය. ඉහල මාලයට අඩිය තියනවාත් සමගම, කිසියම් ඡායාවක් බිත්තියකට මුවා වී යනු ඔහු දුටුවේය. සද්දයක් නොනගින ලෙස අඩි තබමින් ඔහු පිටුපස හඹා යන්නට විය. මෙසේ ඔහු ඉහලම මාලය වෙත පිවිසුණේය. අවසානයේ කුඩා පැසේජයකින් ඔහුගේ ගමන කෙලවර විය.

"බාන්ස්!...බාන්ස්!" ඔහු සෙමෙන් මිමුනුවේය.

කළුවර අතරින් කුමක්දෝ සෙලවෙනු ඔහු දුටුවේය. පැසේජය කෙලවරේ තිබූ ගෝලාකාර ජනේල් කවුළුව නිසා කළුවර මදක් බාල වුයෙන් තමා ඉදිරියේ නොසෙල්වී සිටගෙන සිටි රුපයේ හැඩය යන්තමින් ඔහුට දිස් වුයේය. මිගෙල් සුදානම් ශරිරයෙන් බලාසිටින අතරතුර බියජනක සිතුවිලි වලින් ඔහුව වෙලා ගත්තේය. ඉදිරියේ වූ රුපය දෙස ඇස් නොපියා බලා සිටින තුර ඔහු සෙමෙන් සෙමෙන් ආපස්සට හැරුනේය. එවිටම එම රූපකාය ඔහුවෙත ක්‍රමයෙන් ලං වෙන්නට පටන් ගත්තේය. මිගේල්ට දෙවියන් සිහි වී කෑ ගැසුනේය.

"බාන්ස්! දෙයියන්ගේ නාමෙන් උඹ නේද?"

ඔහුගේ වෙව්ලන කටහඬ දෝංකාර දුන්නේය. නමුත් ඔහු වෙත ලඟාවෙමින් තිබූ රූපයට එය ඇසුනාක් මෙන් නොපෙනුණි. ඔහු ධෛර්ය උපදවාගෙන ඉදිරියෙන් තමා වෙත ලං වෙමින් තිබූ දෙයට මුහුණ දීමට සිතා ගත්තේය. නමුත් එය ඉතා ආසන්න වෙත්ම ඔහු කෑ ගසාගෙන ආපසු හැරී දුවන්නට විය.

කුඩා පැසේජයන් ඔහුට පෙනුනේ වංකගිරි මෙන්ය. ඔහු අන්ධයෙක් මෙන් මේ අත දුව ගියේ පඩිපෙළ සොයාගැනීමටයි. ඉන්පසු පහලට ගොස් ප්‍රධාන දොර වෙත දුව ගැනීමටයි.

ඔහු මදක්  නැවතී ඉකි ගසමින් හුස්ම අල්ලාගැනීමට උත්සහ කළේය. එවිට නැවතත් ඔහු පසුපසින් අඩිහඬ ඇසෙන්නට පටන් ගත්තේය. බිමට ලී අතුරා තිබූ පැසේජ මත බර අඩි තබමින් කාමර වලට ඇතුළු වෙමින් නැවතත් එලියට පැමිණ එහෙමෙහෙ ඇවිදිමින් තමාව හොයන හඬට මිගෙල් නොසෙල්වී කන් දීගෙන සිටියේය. එම හඬ තමා සිටි පෙදෙසට ලඟා වෙන විට ඔහු අසල තිබූ කාමරයක් තුලට ගොස් සෙමෙන් දොර වසා ඊට පිට දී නොසෙල් වී බලා සිටියේය. අඩිහඬ තමා සිටි කාමරය පසුකර යනු ඔහුට ඇසුණේය. ඊට මොහොතකට පසු හෙමින් අඩි තබමන් එලියට පැමිණ ප්‍රතිවිරුද්ධ දෙසට දිව්වේයනමුත් මොහොතකින් නැවතත් එම අඩිහඬ ඔහු පසුපස හඹා එන්නට පටන් ගත්තේය. අවසානයේ ඔහුට දිග කොරිඩෝව සම්භ විය. එහි අවසානයේ තිබූ සුපුරුදු පඩිපෙළ වෙත ඔහු වේගයෙන් දිවීමට පටන් ගත්තේය. අඩි හඬද ඔහු අසලින්ම ඇසෙයි. එබැවින් ඔහු දිව්වේ ඉදිරියට බර වෙමින්ය. පඩිපෙළ වෙත ඔන්න මෙන්න කියා තිබියදී පසුපසින් පැමිණි රූපය තමාව අල්ලාගනිවීයි බියෙන් ඔහු මදක් පැත්තකට විය. ඔහුට දැනුනේ අඳුරේම තමාව මුනින් අතට පෙරලී ගියාක් මෙන්ය.

****     ****     ****     ****     ****


පසුදා උදෑසන හිරු එලිය පැතිරී යත්ම, ලෙස්ටර් සිය දෙනෙත් විවර කළේය. තම ඇඟිල්ලක තිබූ විශාල දිය පට්ටය ඇති  වුණේ කෙසේදැයි වික්ෂිප්තව පසෙකින් සිටි වයිට්ව ඔහු දුටුවේය.

"අනෙක් උන් කොහෙද?" ලෙස්ටර් ඇසුවේය.

"මම හිතන්නේ යන්න ඇති" වයිට් කිවේය. "අපිට නින්ද යන්න ඇති"

ලෙස්ටර් නැගිට ඇඟේ හිරිමැලි කඩා දමා ඇඳුම්වල ගෑවී තිබූ දුවිලි පිස දැමුවේය. ඉන් අනතුරුව කොරිඩෝව වෙත ගියේය. වයිට්ද ඔහු පසුපසින් ඇදුනේය. ඔවුන් පැමිණෙන හඬින් කොරිඩෝව කෙලවර වැතිර සිටි යමෙක් ඇහැරී නැගිට සිටියේය. බාන්ස් බව ඔවුන් අඳුර ගත්තෝය.

"මම කොහොමද මෙතන නිදා ගත්තේ" ඔහු පුදුම වෙමින් කිවේය. "කොහොමද මම මෙතනට ආවේ? මම මෙතනට ආවා කියලා කිසිම මතකයක් නැහැනේ"

"මෙතන නිදා ගන්න කියාපු තැන" ලෙස්ටර් තියුණු හඬකින් පවසන අතර අසල තිබූ ගරාදි වැටේ කොටසක් කැඩී ගිය හිඩැස පෙන්වූයේය. "අර බලපන්, උඹ අඩියක් දෙකක් එහෙට මෙහෙට වුනානම් කොහෙද ඉන්නේ කියලා?"


බාන්ස් නොසැලකිල්ලෙන් අයිනට ගොස් පහල බැලුවේය. ඔහු කෑ ගසමින් මදක් පිටිපස්සට පැන්නේය. පුදුම වූ අනෙක් දෙදෙනාද එබී බලන විට බිම වැටී තිබූ මල සිරුරක් දක්නට ලැබුණි.

අනෙක් දෙදෙනාද එබී බලන විට බිම වැටී තිබූ මල සිරුරක් දක්නට ලැබුණි.

සමාප්තයි.


ඩබ්. ඩබ්. ජේකබ්ස් විසින් 1909 දී ප්‍රකාශ කරන ලද "The Toll House" කෙටිකතාවේ පරිවර්තනයකි. පොඩ්ඩේ කොලුවා විසින් මූලික කතාවට හානියක් නොවන පරිදි පොඩ්ඩක් ලුණු ඇඹුල් යොදා සිංහලෙන් තෙම්පරාදු කර පරිවර්තනය කරන ලදී.