Wednesday, August 26, 2015

හොල්මන් ගෙදර - පළමු කොටස

"ඔය ඔක්කොම විකාර බං" ජැක් බාන්ස් කිවේය. " ගේ ඇතුලේ මිනිස්සු මැරිලා තියෙනවා තමා. හැම ගේකම මිනිස්සු මැරෙනවනේ. ඔය ඇහෙනවයි කියන සද්ද..චිමිනිය ඇතුලෙන් එන හුළගේ හඬ, ජනෙල් කන්ඩි උඩ දුවන මියන්ගේ හඬ...ඕවා බය වෙච්ච මිනිහෙක්ට ලොකු දේවල් තමා. මට තව තේ කෝප්පයක් දීපන්, මිගෙල්"

"මුලින්ම ලෙස්ටර්ටයි වයිට්ටයි" 'ත්‍රී ෆෙදර්ස්' තානායමේ මේසයකට වාඩි වී සිටි මිගෙල් කිවේය. "උඹ දෙකක්ම බීලා ඉන්නේ"

ලෙස්ටර් සහ වයිට් ඔවුන්ගේ තේ කෝප්ප තොල ගෑවේ බලා සිටින්නෙකුට කෝපය ගෙන එන තරමට ඉතා සෙමින්ය. සෑම තේ උගුරක් අතරතුර කෝප්පයෙන් පැන නගින තේ සුවඳ හොඳින් ආග්‍රහණය කරනවා සේම දිහා බලාගෙන සිටියේ සැරින් සැරේ තේ කෝප්පය මත පාවෙන බුබුළු වල පැමිණි දිනය හා ස්ත්‍රී පුරුෂභාවය පරික්ෂා කරන අයුරෙනි.

මිගෙල් ඔවුන් දෙදෙනාට කට කපා තේ දෙකක් පිළිගැන්වීමෙන් අනතුරුව බුම්මගෙන සිටි බාන්ස් දෙසට හැරුනේ ඔහු කාරුණිකව ඉල්ලූ  උණු වතුර වීදුරුව පිලිගැන්විමටයි.

"උඹේ නාඩි දැන් මේ තියෙන විදියටම සන්සුන්ව  තියන්න අපි උත්සහ කරන්නම්" ඔහු කිවේය.

"හොල්මන් දේවල් ගැන මගේ නම් විශ්වාසය බාගෙට බාගයක් වගේ තියෙන්නේ" බාන්ස් කිවේය.

"හැම දැනුම් තේරුම් තියෙන මිනිහෙක්ම විශ්වාස කරනවා" ලෙස්ටර් කිවේය. "මගේ නැන්දා කෙනෙක් එක පාරක් භුතයෙක්ව දැකලා තියෙනවා"

වයිට් ඔලුව වැනුවේය. "මගේ මාමා කෙනෙකුත් දැකලා තියෙනවා"

"හැමෝම කියන්නේ එයාගේ කව්රු හරි දැකලා තියෙනවා කියලයි" බාන්ස් කිවේය.

"එහෙනම්, එක ගෙයක් තියෙනවා" මිගෙල් පටන් ගත්තේය. ලොකු ගෙයක් ඒක, කුලිය සෑහෙන අඩුයිලු. ඒත් කව්රුත් ඒක ගන්නේ නැහැ. මොකද, ඒකෙ ජිවත් වුන පවුල් වලින් අඩුම තරමේ එක්කෙනෙක්ව හරි බිලි අරගෙන තියෙනවා. ඉතින් කාලයක් යනකොට මේ ගෙදර  පාලුවට ගිහිල්ලා තියෙනවා. බලා කියාගන්න හිටපු මිනිස්සුත් එකා ගානේ මේකේ ඇතුලෙම මැරිලා ගිහිල්ලා. අන්තිමට හිටපු මනුස්සයා මැරිලා අවුරුදු 15ක් විතර වෙනවා"

"හරියට හරි. කාලයක් යනකොට මේ දේවල් කටකතා වෙනවා" බාර්න්ස් කිවේය.

"මම රන් පවුමක් ඔට්ටු අල්ලනවා, උඹ ඕකේ එක රැයක් තනියෙම ඉන්නේ නැහැ ඔය කියෙව්වට" වයිට් එකවරම කිව්වේය.

"මමත්" ලෙස්ටර්ද ඔහුට එකතු වුනේය.

"බැහැ" බාර්න්ස් සෙමින් තෙපළේය. "මම ඔය කියන භූතයෝ ගැනයි අත්භූත දේවලුයි විශ්වාස කරන්නේ නැහැ තමා, ඒත් මම පිලිගන්නවා මට ඕකේ තනියම රැයක් ගත කරන්න බැහැ කියලා."

"මොකද බැරි?" වයිට් ප්‍රශ්ණ කළේය.

"චිමිනියෙන් එන හුළගේ හඬ නිසාද?" මිගෙල් දත් විරිස්සමින් කිවේය.

"ජනෙල් කන්ඩි උඩ ඉන්න මීයෝ නිසාද?" ඊට නොදෙවෙනිව ලෙස්ටර් කිවේය.

"ඕන දෙයක් හිතා ගනිල්ලා" ලැජ්ජාවට පත් බාන්ස් කිවේය.

"මොකද කියන්නේ අපි ඔක්කොම එකට ගියොත්?" මිගෙල් කිවේය. "රෑ කෑම කාලා එතනට එකොළහට විතර ගියොත් මොකද? අපි පහු ගිය දින දහයේ ඔහේ එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියා විතරයි. කරන්න කිසිම ඇඩ්වෙන්චර් එකක් තිබුනෙත්  නැහැ. කරපු එකම දේ තමා කාණු වතුරේ ගඳ හුඟක් ඈතට දැනෙනවා කියලා මේ බාන්ස් හොයා ගත්ත එක. මොනවා වුනත් මේක අලුත් දෙයක්, ඕකේ කරදරයක් නැතුව අපිට එක රැයක් ඉන්න පුළුවන් වුනොත්, ඔය කියන  සාපයක් නැහැ කියලා ඔප්පු වෙනවා. එතකොට අයිතිකාරයා සතුටු වෙලා අපිට සන්තෝසමක් දෙන්නත් බැරි නැහැ."

"මුලින්ම අපි බලමු තානායම්කාරයා මේ ගැන මොනවද කියන්නේ කියලා" ලෙස්ටර් කිවේය. "මේ නිකම් සාමාන්‍ය ගෙයක් ඇතුලට වෙලා රැයක් ඉන්න එකේ කිසිම ආතල් එකක් නැහැ. ඒක නිසා අපි බලමු මේක ඇත්තටම භූත ගෙයක්ද කියලා"

තානායම්කරුව ගෙන්වා ගැනීමට ඔහු සීනුව නාද කළේය. ඔහු පැමිණි පසු භූත නිවස ගැන විමසුවේය. එමෙන්ම ඔවුන්ගේ සැලසුම ගැනද පැවසුවේය.

"අපිට ඔයා දන්න ඇත්තම දේ කියන්න. මොකද ඔය ගෙදර ගැන කියන හොල්මන් කතා බොරුවක් නම් ඕකේ රැයක් ලැගලා ඉඳලා අපිට වැඩක් නැහැ." ලෙස්ටර් කිවේය.

ඔහුගෙන් ලද පිළිතුරෙන් හිතා සිටියාට වඩා ඔවුන් තෘප්තියට පත් විය. එක්තරා රාත්‍රියක එම නිවසේ ජනේලයකින් මිනිසෙකුගේ ඔලුවක් එලියට එල්ලෙමින් තිබී හඳ එළියෙන් දුටු අයුරු තානායම්කරු විසින් හැඩ වැඩ දා ඔවුන්ට විස්තර කළේය. ඔහුගේ කතාව අවසන් වූයේ තානායමේ බිල ගෙවා යන ලෙස කාරුණිකව ඉල්ලා සිටීමෙන්ය.

"ඔයාලා වගේ තරුණ මහත්වරුන් විනෝද වුනාට කාරී නැහැ" ඔහු කාරුණික ස්වරයෙන් කිවේය. "ඒත් පොඩ්ඩක් හිතන්න පහු වෙනිදා උදේට ඔයාලා හතර දෙනාම මැරිලා හිටියොත් මට මොනවා හිතේවිද?" ඒකට හොල්මන් ගෙදර කියලා කියන්නේ කට කහනවට නෙමෙයි."

"කවුද අන්තිමට ඒකෙ ඇතුලෙදි මැරුනේ?" බාර්න්ස් විමසුවේ තරමක් සමච්චල්සහගත හඬකිනි.

"ඔය ඉබාගාතේ ඇවිද ඇවිද හිටපු එකෙක්, මිනිහා ඒකෙ ඇතුලට ගිහිල්ලා තියෙන්නේ මේ සොච්චම් ගානක් දෙනවයි කියපු නිසා. උදේ බලනකොට මිනිහා ගරාදි වැටේ එල්ලිලා ඉන්නවා, මැරිලා. ඔහු කිවේය.

"මොලේ හොඳ නැතුව සියදිවි නසාගෙන" බාන්ස් කිවේය.

තානායම්කරු ඔලුව වැනුවේය. "එහෙම තමා ජූරියෙන් තීරණය කළේ" ඔහු සෙමෙන් කිවේය. "ඒත් ඒකෙ ඇතුලට යනකොට මිනිහගේ මොලේ හොඳට වැඩ කළා. මම අවුරුදු ගානක් තිස්සේ මිනිහව හොඳට දැනගෙන හිටියා. මමත් දුප්පත් මිනිහෙක් තමා මහත්තයෝ , ඒත් මට පවුම් සියක් දෙනවයි කිව්වත් මම නම් ඕකේ රැයක් ඉන්නේ නැහැ.

මට පවුම් සියක් දෙනවයි කිව්වත් මම නම් ඕකේ රැයක් ඉන්නේ නැහැ.

ඊට පැය කිහිපයකට පසු, ඔවුන් තානායමෙන් එලියට බසින විටද තානායම්කරු ඉහත කී දෑ නැවත පුනරුච්චාරණය කළේය. ඔවුන් තානායමෙන් පිටත් වුයේ, සාමාන්‍ය පරිදි එය එදිනට වසා දමන වෙලාවටයි. ඔවුන් එලියට බැස්ස විගසම එහි දොරගුළු දමන හඬ ඔවුන්ට ඇසුනෝය. එදිනෙදා තානායමට ගොඩවදිනා සුපුරුදු ගනුදෙනුකරුවන් සෙමින් සෙමින් සිය නිවෙස් වෙත පිය නගමින් සිටියෝය. නිර්භීත තරුණ නඩය යුහුසුළුව පෙර කී හොල්මන් නිවස පිහිටා ඇති දෙසට ගමන් කරමින් සිටියෝය. බොහොමයක් නිවෙස් අඳුරේ ගිලී තිබූ අතර ආලෝකමත් වී තිබූ නිවෙස්ද ක්‍රමයෙන් අඳුරේ ගිලී ගියේය.

"මේ බාන්ස් කාරයට හොල්මන් තියෙනවා කියලා ඔප්පු කරන්න ගිහිල්ලා ආතල් එකේ නිදාගන්න තිබුණු චාන්ස් එකත් නැති වෙනවා" වයිට් කිවේය.

"අපි හොඳ වැඩක් කරන්නනේ යන්නේ. ගොඩක් වටින අරමුණක්. මම නම් කියන්නේ කොහොම හරි අපි මේක ගොඩ දාන්න ඕන කියලයි. ලෙස්ටර්, උඹ ඉටිපන්දම් ටික අමතක කලේ නැහැ නේද?" මිගෙල් ඇසුවේය.

"ඉටිපන්දම් දෙකක් තමා ගෙනාවේ, නාකියා දුන්නේ එච්චරයි" යනුවෙන් පිළිතුරු ලැබුණි.

රාත්‍රී අහස වලාකුළු වලින් බර වී ඇති බැවින් සඳෙන් පිට වූ ආලෝකය ඉතා අල්ප වශයෙන් පොළොවට පතිත විය. බඩවැටි මැදින් වැටි තිබූ පාර ඉතා කළුවර විය. එක් ස්ථානයකින් අනතුරුව මාර්ගය කැලෑවක් මැදින් වැටි තිබුණි. ගමන් කිරීමට නොහැකි තරමට මාර්ගය අඳුරේ ගිලී තිබුණි. මාර්ගයද ගල් මුල් වලින් ගහණ විය. ඔවුන් දෙවරක්ම ගමන් කිරීමට අපහසු බැවින් පැකිලෙමින් මාර්ගයේ පසෙකට වී බලා සිටියෝය.

"සැපට නිදා ගන්න තිබ්බ ඇඳවල් ටික දාලා අපිත් ආවනේ මේ වගේ ගමනක!" ලෙස්ටර් කිව්වේය. "ඔය කියපු සොහොන් ගෙය තියෙන්නේ දකුණට වෙන්න නේද?"

"තව ඉස්සරහ" මිගෙල් කිවේය.

ඔවුන් නිහඬව තරමක් දුර ගමන් කළේය. සැප පහසුවට නිදා ගැනීමට තිබු අවස්ථාව අහිමි වීම පිළිබඳව ලෙස්ටර්ගේ අදෝනාවෙන් නිහඬතාවය බිඳී ගියේය. තවත් දුරක් යනතුරුම මේ අදෝනාව පැවතුනි. මිගෙල්ගේ මග පෙන්වීම යටතේ ඔවුන් එක් තැනකින් දකුණට හැරුනෝය. ඉන්පසු තවත් මයිල කාලක් පමණ ගමන් කල පසු  ඔවුන් සෙව් නිවසේ ගේට්ටුව ඉදිරිපිටට පැමිණ සිටියෝය.

ඔවුන් සෙව් නිවසේ ගේට්ටුව ඉදිරිපිටට පැමිණ සිටියෝය.

වල් පඳුරු නිසා නිවස සම්පුර්ණයෙන්ම වාගේ සැඟ වී ගොස් තිබුණි. වාගේම ගෙට වැටී තිබූ කුඩා පාරද වල් පැලෑටි වලින් ගහණව තිබුණි. මිගෙල්ගේ ප්‍රධානත්වයෙන් ඔවුන් ඒවා ඈත් මෑත් කරමින් ඉදිරියටම ගියෝය. අවසානයේ අඳුරේ ගිලි තිබූ නිවස ඔවුන් ඉදිරියේ දර්ශනය විය.

"තානයම්කාරයා කිව්වේ පිටිපස්සේ තියෙන ජනේලෙකින් අපිට ඇතුලට රිංගගන්න පුළුවන් කියලා" ඔවුන් ඉදිරිපස දොර වෙත ගිය විට ලෙස්ටර් කිවේය.

"ජනේලයක්?" මිගෙල් ඇසුවේය. "විකාර. කරන දේ හරියට කරමු. කෝ මේ දොරට තට්ටු කරණ යකඩ කෑල්ල?" යි කියමින් ඔහු අඳුරේම දොර අතපත ගාන්නට විය. අඳුරේම ඔහුගේ අතට යකඩ කෑල්ල අසු වුණු අතර ඔහු එයින් දොරට පත බෑවේය.

"නිකම් මෝඩයෙක් වෙන්න එපා බං" බාන්ස් කීවේ තරහින්ය.

"භූත සේවකයෝ ටික නිදි වගේ" මිගෙල් කීවේ කර්කෂ හඬකිනි. "ඕකුන්ව ඇහැරවලා ඉන්න ඕන මුලින්ම. ඊට පස්සේ බලගන්නම්කො. මුන් කොහොමද අපිව මෙහෙම එලියට දාලා අඳුරේ තියන්නේ?"

නැවතත් ඔහු දොරේ සවි කර තිබූ යකඩයෙන් දොරට තැලුවේය. එයින් නිකුත් වූ ශබ්ධයෙන් පසක් වූයේ දොරට පසුපසින් ඇත්තේ හිස් අවකාශයක් පමණක් බවයි. එකවරම මිගෙල් පැකිලී ඉදිරියට විසි වුනේ දොරත් ඇරගෙනය.

"මේක ඇරලනේ තිබිලා තියෙන්නේ" ඔහු විස්මයට පත් වූ හඬකින් කිවේය.

"වරෙල්ලා"

"මම නම් හිතන්නේ නැහැ ඒක ඇරලා තිබුනා කියලා" ලෙස්ටර් මදක් පසුපසට වෙමින් කිවේය. "කවුරු හරි අපිව විහිලුවකට අරගෙන වගේ"

"විකාරද?" මිගෙල් තියුණු හඬින් කිවේය. "ඉටිපන්දමක් දීපන් මෙහාට. කා ගාවද ගිණිපෙට්ටියක් තියෙන්නේ?"
 
බාන්ස් ගිණිපෙට්ටියක් එලියට ගෙන කූරක් ගසා මිගෙල් අත තිබූ ඉටිපන්දම දැල්වුයේය.

දැල් වූ ඉටිපන්දම එක් අතකින් ගෙන අනික් අතින් ඉටිපන්දම ආවරණය කරගෙන මිගෙල් තරප්පු පෙළ පාමුල වෙත පිය නැගුවේය. "කවුරුහරි ඔය දොර වහලා දානවද? හුළං පාර සැර වැඩියි." ඔහු කිවේය.

"ඒක වහලා තියෙන්නේ" පිටිපස හැරී බැලූ බාන්ස් කිවේය.

මිගෙල්ගේ එක් අතක් ඔහුගේ නිකට වෙත ගියේය. "කව්ද ඒක වැහුවේ?" ඔහු ඇසුවේ අනෙක් තිදෙනාගේ මුහුණු දෙස ප්‍රශ්නාර්තව බලමින්ය. "කව්ද අන්තිමට ආවේ?"

"මමයි" ලෙස්ටර් පිළිතුරු දුන්නේය. "ඒත් මට මතක නැහැ දොර වැහුවද කියලා. සමහරවිට මම වහන්න ඇති"

මිගෙල් යමක් කියන්නට ගොස් එය හිතේම තද කර ගත්තේ එය නොකිය සිටීම හොඳයි යයි හැඟුණු නිසාවෙනි. ඉටිපන්දම් එලිය නිවෙන්නට නොදී අතින් ආවරණය කරගෙන අනෙක් තිදෙනාද සමගින් මිගෙල් නිවසේ ඇතුල පිරික්සන්නට පටන් ගත්තේය. ඔවුන් එසේ ඇවිද යන විට විවිධ සෙවනැලි බිත්ති මත සහ අහුමුලුවල රඟ දෙන්නට පටන් ගත්තේය. බිම්  මහලේ අනෙක් කෙලවරට වන්නට ඉහලට දිව ගිය තවත් තරප්පු පෙළක් ඔවුනට සම්භ විය.

"බලාගෙන" මිගෙල් කීවේ ඔවුන් උඩ තට්ටුවට පය ගැසූ විගසය.

ඔහු ඉටිපන්දම මදක් ඉදිරියට කර පෙන්නුවේ උඩු මහලේ ගරාදි වැට කැඩී තිබූ ස්ථානයකි. ඉන්පසු ඔහු එම ස්ථානයෙන් මදක් ඉදිරියට නැමී කුතුහලයෙන් යුතුව පහල බැලුවේය.

"මම හිතන්නේ මෙතනින් තමා අර ඉබාගාතේ ඇවිද ඇවිද හිටපු අනාතයා වැටිලා මැරිලා තියෙන්නේ" ඔහු කල්පනාකාරීව කිවේය.

"උඹට නම් තියෙන්නේ මහා ජරා මොලයක්" වයිට් කීවේ ඉදිරියට ඇවිද යෑමට පටන් ගන්නවාත් සමගයි. "උඹ ඒක කිව්වේ නැතත් මෙතන මහා අප්පිරියා හිතෙන තැනක්. හොඳ කාමරයක් හොයාගෙන විස්කි අඩියක් ගහලා දුම් උගුරක් අදින්න තියෙනවනම්. මොකද කියන්නේ?" 

මිගෙල් ඉටිපන්දමද අතින් ගෙන කාමරය තුලට ගියේය. ඔහු එය ගිණි උඳුනේ බිත්තිය මත ඉටි ස්වල්පයක් දියකර හැර ගැසුවේය. සෙස්සන් බිම වාඩි වූවෝය. වයිට් තම පොකැට්ටුවෙන් කුඩා විස්කි බෝතලයක් සහ බෙලෙක් ටින් එකක් එලියට ගන්නා අයුරු අනෙක් දෙදෙනා සතුටින් බලා සිටියෝය.

"ෂික්..මට වතුර ටිකක් ගේන්න අමතක වුනානේ" වයිට් පසුතැවිල්ලෙන් කිවේය.

"මම ගේන්නම් පටස් ගාලා" මිගෙල් කිවේය. ඉන්පසු ඔහු සීනුව සඳහා වූ ලීවරය කීප විටක්ම වැරෙන් ඇද්දේය. එවිට දුරින් පිහිටා තිබූ කුස්සිය දෙසින් සීනු නාදයක් ගලා ආවේය. ඔහු නැවතත් ඇද්දේය.

"මෝඩයෙක් වෙන්න එපා බං" බාන්ස් රළු ලෙස පැවසුවේය.

මිගෙල් සිනාසුනේය. "මට උඹට පෙන්නනයි ඕන වුනේ" මිගෙල් සන්සුන්ව කිවේය. "අඩුම ගානේ එක හොලමනක් හරි ඉන්න ඕන වැඩකාරයින්ගේ ශාලාව පැත්තේ"

නිහඬ වෙන ලෙසට බාන්ස් අතින් සන් කළේය.

"මොකද? මොකද?" මිගෙල් අනෙක් දෙදෙනා දෙස විරිත්තමින් ඇසුවේය. "කව්රුහරි එනවද?"

"අපි මේ සෙල්ලම නවත්තලා දාලා ගියොත් නරකද?" එක්වරම බාන්ස් කිවේය. "මම ඔය භූතාත්ම ගැන විශ්වාස කරන්නේ නැහැ තමා. ඒත් මට දැනෙන දෙයින් මම ටිකක් බය වෙලා ඉන්නේ. උඹලට ඕන තරමක් හිනා වෙයල්ලා, පල්ලෙහායින් දොරක් ඇරෙන හඬකුයි පඩිපෙළෙන් අඩි සද්දයකුයි ආවා වගේ මට හොඳට ඇහුනා."


ඩබ්. ඩබ්ජේකබ්ස් විසින් 1909 දී ප්‍රකාශ කරන ලද "The Toll House" කෙටිකතාවේ පරිවර්තනයකි. පොඩ්ඩේ කොලුවා විසින් මූලික කතාවට හානියක් නොවන පරිදි පොඩ්ඩක් ලුණු ඇඹුල් යොදා සිංහලෙන් තෙම්පරාදු කර පරිවර්තනය කරන ලදී.


1 comment :

ඕන දෙයක් කුරුටු ගාලා යන්න, ඩස්ටර් එක මගේ අතේ තියෙන්නේ :-)