Wednesday, December 17, 2014

පළමු පිම්ම සහ හෙළ බස


පොඩ්ඩේ කොලුවා ගල් කූරක් ගෙන බ්ලොග් ලෝකයේ කළුලෑල්ල දෙසට පිය මැන්නේ පාළුව මකා ගන්න වගේම හිතේ ඇති වුනු ආසාවටයි. කොලුවා නම් බ්ලොග් ලෝකෙට අලුත්. ඒත් කාලයක් තිස්සෙම බ්ලොග් ලෝකයේ සැරි සරනවා. කොලුවා දැනට ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි. අරාබිකරයේ. හරියටම කිව්වොත් දෝහා කටාර් වලයි. බ්ලොග් ලෝකයේ සැරිසරද්දී, අරාබිකරයේ රස්සා කරන ගමන් බ්ලොග් ලියනා සහෝදර සහෝදරියන් කීප දෙනෙක්ම දුටුවා. බ්ලොග් එක පටන් ගත්තට මොකද, ලියන්නේ මොනවද කියලා හිත හිත ඉඳලම සති කීපයක්ම ගියා. බැරිම තැන ඕන මගුලක් වෙන්න කියලා ඔහේ අකුරු කරන්න ගත්තා.

මේ වන විට මම අරාබිකරයට ඇවිත් අවුරුදු දෙකක් වෙන්නත් ඇවිත්. ඉතින් මෙහෙම අරාබිකරයේ රස්සාව කරගෙන ඉන්නකොට නිතරම මට දැනුන දෙයක් තිබුණා. ඒ ගැන හිතන්න වෙන විදියේ සිද්ධීන් කිපයක්මත් සිද්ධ වුණා. අනං මනං නැතුව කෙලින්ම මාතෘකාවට බහින්නම්කො. මාතෘකාව තමා මව් භාෂාව. මේ අරාබිකාරයෝ කොච්චර තමන්ගේ භාෂාවට ආදරය කරනවද ඒ වගේම එය රැකගන්න ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ඔවුන්ව අගය කල යුතු අතර ඉන් අපට ගත හැකි ආදර්ශයද ඉමහත්.

අපේ මව්බස වන සිංහල භාෂාව යනු ලොව ඇති ලස්සනම භාෂා අතුරින් එකකි. එමෙන්ම ක්‍රමයෙන් ලෝකයෙන් වඳ වී යාමේ ප්‍රවණතාව වැඩි භාෂාවකි. මේ කතාව බොරුයි කියා සිතනවා නම් මේ සබැඳියට ගොස් බලන්න.

ඡායාරූපය මෙතනින් 

නමුත් මදක් කල්පනා කර බලන්න. බොහොමයක් නව පරම්පරාවේ ඇත්තන් සිංහලට වඩා ඉංග්‍රීසි භාවිතා කිරීමට ප්‍රිය කරයි. ඒ “ඉංග්‍රීසි කතා කරන එකා තමා පොර” යන ඔලමොට්ටල පුස් සංකල්පය ඔලුව තුල ඔඩු දිවීමෙනි. එබැවින් උන් සිංහල කතා කිරීමට සහ ලිවීමට ලජ්ජා වෙති. නමුත් මැද පෙරදිග රටවල්, ජපානය, චීනය වැනි රටවල් ඉංග්‍රීසි භාෂාව තඹ දොයිතුවකටවත් මායිම් කරන්නේ නැත. නමුත් අපේ උන් ඉංග්‍රීසි ඔලුව උඩ තබාගෙන සිටිති. ඉංග්‍රීසි ඉගෙන නොගත යුතු යයි මම නොකියමි. එය ඉගෙන ගත යුතුයි. කුමක් සඳහාද ? අවශ්‍ය අවස්ථාවන්හි දී පාවිච්චි කිරීමටයි. අරාබි කාරයින් බොහොමයක් ඉංග්‍රීසි නොදනියි. සමහරුන් දන්නවා උනත් කතා නොකරයි. මේ පිළිබඳව මැද පෙරදිග සේවය කරන අපේ සහෝදර සහෝදරයින් හොඳාකාරවම දන්නා කාරණයකි. 

මෙවැනි වින්නැහියක් අපේ රටට වෙන බව අනගාරික ධර්මපාල තුමා එදවසම පවසා ඇත.


“මතක තියා ගනිල්ලා, කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සේ. ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත් වලට වෛර කරනවා.”

එතුමා එදා කී කතාව අද සත්‍යයක් නොවේද ? අද සිංහල භාෂාව දෙකේ කොලයට දමා ඇත. සිංහල භාවිතා කිරීම මදි පුංචි කමක් සේ සැලකෙන තරමට වැඩ කටයුතු සැලසී ඇත. කුඩා කල සිට අප හැදී වැඩෙන වාතාවරණය සහ අපට අහන්නට දකින්නට ලැබෙන දේ අනුව ඉබේම ඉහත කී අයුරින් කටයුතු කිරීමට අප පෙළඹීම පුදුමයක්ද නොවේ. දැන් මෙසේ බණ දේශනා කලාට මමද කඩුව හිසේ තියාගෙන සිටි පොරක්. නමුත් දෙයියන්ගේ පිහිටෙන් මව් බසේ අගය මමම අවබෝධ කර ගත්තා. අරාබිකරයට ආවාට පසු මව් බසේ අගය හොඳින්ම දැනෙන්න ගත්තා.


පසු ගිය කාලය පුරාම මා නිරීක්ෂණය කල දෙයක් විය. එනම් නුතන තාක්ෂණය සමග භාෂා භාවිතය. ඇත්තටම බ්ලොග් අවකාශයේ ඇති සිංහල අඩවි ප්‍රමාණය දැක මට අපමණ සතුටක් දැනුණේ. අපමණ වැඩ අස්සේ ඉතා සාර්ථකව මේ බ්ලොග් අඩවි පවත්වා ගෙන යන සහෝදර සහෝදරියන් ගැන ඇත්තේ පුදුම සතුටකි. එමෙන්ම අන්තර්ජාල භාවිතයේදී මෙන්ම ජංගම දුරකථන සහ පරිගණක භාවිතයේදීද සිංහල භාෂාවට තැනක් ලබා දීමට කටයුතු කරනා අප රටේ ආයතන සහ පුද්ගලයින් හට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.

අරාබිකරයට (ගල්ෆ් කලාපයට) ආනයනය කරනා සියළුම පාහේ ජංගම දුරකථන, ජංගම පරිගණක (ලැප්ටොප්), සාමාන්‍ය පරිගණක (ඩෙස්ක්ටොප්), ටැබ් සහ වෙනත් මෙවැනි තාක්ෂණික උපකරණ වල අරාබි භාෂාව අනිවාර්යයෙන් ඇතුලත් වේ. ඒ වගේම ඉහත කී උපාංග වල යතුරුපුවරු වල ඇති යතුරු මත අරාබි අක්ෂර මුද්‍රණය කර ඇත. ඒ වගේම භාණ්ඩ සමග ලබා දෙන උපදෙස් පත්‍රිකා සහ පොත් මුද්‍රණය කර ඇත්තේ අරාබි වලිනි. ඇතැම් විටෙක අරාබි වලට අමතරව ඉංග්‍රීසියෙන්ද ඇතුලත් වෙයි. මෙම වසර මුලදී මම කැමරාවක් මිලදී ගතිමි. එහි ඇති උපදෙස් පොත මුද්‍රණය කර තිබ්බේ තනිකරම අරාබි වලින්. කුණු කුඩේට විසි කරනවා හැරෙන්න ඉන් ගත හැකි දෙයක් නොවිණි. පසුව එහි මොඩල් අංකය පාවිච්චි කර ඉංග්‍රීසි උපදෙස් පොතක් අන්තර්ජාලයෙන් බා ගැනීමට මට හැකි විය. 


අරාබි සහිත යතුරුපුවරුවක් 

දෝහා කටාර් වල ස්වදේශිකයන් වන කටාරි ජාතිකයින් නිතර දෙවේලේ ජංගම දුරකථන වලට එබී සිටිනු දැකීම ඉතා සුලභ දසුනකි. ලෙබනිස්කාරයෝද (ලෙබ්බෝ)එසේමය. වාහන එලවන ගමන්ද මුන් සිටිනුයේ මූණු පොත පිරික්සමින්. විශේෂයෙන් කාන්තා පාර්ශවය. දිනක් මම යහළුවෙක් සමග ඔහුගේ වාහනයෙන් ගමනක් යමින් සිටියෙමි. ඉදිරියෙන් ගිය වාහනය හෙමින් ගිය අතර මං තීරු කපමින් රුවිතට මෙන් ධාවනය විය. දෙතුන් පාරක් නලාව ශබ්ද කිරීමෙන් පසු මාර්ගය ඉඩ දුන් පසු අපි ඔහුව ඉස්සර කර ගිය විට දුටුවේ ජංගම දුරකතනයට එබීගෙන සිටිනා ලෙබ්බෙකි. ඔයින් මෙයින් කියන්න ගිය දේත් අමතක වුණා. ඉතින් මෙහෙම ජංගම දුරකථන වලට එබීගෙන ඉන්න එවුන්ගේ දුරකතනවලට එබි බැලුවොත් පෙනේවි උන් එහි භාෂාව ලෙස භාවිතා කරනුයේ අරාබි කියා. දුරකතනයේ සම්පුර්ණ මෙහෙයුම් පද්ධතිය ඇත්තේ අරාබි වලිනි. එමෙන්ම කෙටි පණිවිඩ යවන්නේද සිය භාෂාවෙන් පමණි. දිනක් අප කාර්යාලයේ වැඩ කරන අරාබි රියදුරෙක් මගේ ළඟට විත් ඔහුගේ අළුත් ඇපල් දුරකථනය දිගු කොට ඉල්ලා සිටියේ එහි භාෂාව අරාබි වලට හරවා දෙන මෙනි. තවත් දිනෙක රට තොටේ ඇවිදින වෙලාවක, අරාබි කාරයෙක් මා හට ඔහුගේ ඩි එස් එල් ආර් කැමරාව දික් කර ඉල්ලා සිටියේ ඔහුගේත් ඔහුගේ භාර්යාවගේත් පින්තුරයක් අරන් දෙන ලෙසටයි. කැමරාවේ මුහුණත (ඩිස්ප්ලේ එක) බැලූ විට දුටුවේ, එහි භාෂාව අරාබි බවයි. ඒ වගේම චීන, ජපන්, ස්පාඤ්ඤ, රුසියානු වැනි රටවල්ද මුලිකත්වය දෙනුයේ සිය මව් භාශාවන්ටයි.


අපේ රටට ආනයනය කරනා ඉහත කී භාණ්ඩ වල, සිංහල අඩංගු වන්නේ ඉතාමත් කලාතුරකිනි. සමහර “නොකියා” ජංගම දුරකථන වල යතුරු පුවරුවේ නම් සිංහල මුද්‍රණය කර තිබෙනවා දැක ඇත. නමුත් ඩෙස්ක්ටොප් පරිගණක යතුරුපුවරු වල නම් දැක නොමැත. එමෙන්ම උපදෙස් පත්‍රිකා සහ පොත් වලද සිංහල භාවිතාව ඉතා අල්පය. මෙවැනි දේවල් තේරුම් ගැනීමට තරම් අප රටේ සිටින දේශපාලකයෝ උගත් බුද්ධිමත් නොවෙති. එසේ නම් අපට කහවනු සොයා මෙවැනි කාන්තාරවල ගැටීමේ අවශ්‍යතාවයක් පැන නොගැනෙනු ඇත. දැන් දැන් මෙහෙයුම් පද්ධතීන් තුල මෙන්ම මෘදුකාංග තුලද සිංහල භාෂාව සඳහා ඉඩකඩ වෙන් වෙමින් පවතී. ඇත්තෙන්ම එය ඉතාමත් හොඳ ප්‍රවණතාවයකි. විකිපිඩියාවේද සිංහල සංස්කරණයක් දක්නට ලැබේ. ඊයේ පෙරේදා ගූගල් පරිවර්තකයටත් සිංහල භාෂාව ඇතුලත් කෙරුණා.සිංහල භාෂාව ප්‍රවර්ධනය සඳහා රජයට ගත හැකි ක්‍රියා මාර්ග බොහොමයි.


මෙවැනි අරාබි රටවල මෙන් ගණුදෙණු සඳහා යොදා ගන්නා ලිපි ලේඛණ සඳහා හැකි තරම් මව් භාෂාව යොදාගත යුතුයි. ඒ වගේම නුතන තාක්ෂණය සමග හැකි උපරිමයෙන් සිංහල භාෂාව යොදා ගත යුතුයි. මෙහෙයුම් පද්ධතීන් සඳහා සිංහල ඇතුලත් කිරීම අනිවාර්ය කල යුතුයි. එමෙන්ම ආනයනය කරනා භාණ්ඩ මෙරට විකිණීමට නම් සිංහල භාෂාව අන්තර්ගත විය යතුයි (විශේෂයෙන් දුරකථන සහ ඉලෙක්ට්‍රොනික් උපාංග සඳහා) වැනි නීති රීති පැනවිය හැක. පාරිභෝගිකයින් වශයෙන් අපගේද වගකීම වනුයේ සිංහල බසට මුල් තැන දෙමින් භාණ්ඩ මිලදී ගැනීමයි. නමුත් අප රටේ බොහොමයක් ඇත්තන් කඩ්ඩටම මුල් තැන දීම සාමාන්‍ය සිරිතයි. එය අප ජාතියේ අවාසනාවකි. 


එමෙන්ම මගේ පුද්ගලික මතය නම් සිංහල ඉගෙන ගැනීම සියලු දෙනාට අනිවාර්ය කල යුතුයි. අප රටේ ජීවත් වෙන බොහොමයක් දෙමල සහ මුස්ලිම් මිනිසුන් හට සිංහල වචනයක්වත් කතා කිරීමට බැරිය. එවිට කවුරු හරි කියාවි සිංහල මිනිසුන් හට දෙමල වචනයක් වත් බැහැ කියා. මුලින්ම අප තේරුම් ගත යුතු දෙය නම් මේක සිංහලයාගේ රටයි. සිංහලයා කතා කරන භාෂාව සිංහලයි. ඉතින් අනෙක් අයට මේ රටේ ජීවත් වෙන්න අවශ්‍ය නම් ඔවුන් සිංහල දැන ගත යුතු නොවේද ? මේවා කතා කරනකොට ඉතින් ජාතිවාදී ලේබල් වදීවි. කරන්න දෙයක් නැහැ. ඇත්ත කතා කරනකොට ඔය වගේ දේවල් සාමාන්‍ය දෙයක්. පොඩ්ඩක් බලන්න ජපානය දිහා. ඔබට ජපානයේ ජිවත් වෙන්න අවශ්‍ය නම් ජපන් භාෂාව දැන ගත යුතුය. නැත්නම් රස්සාවක් තබා එදිනෙදා කටයුතු පවා කර ගැනීමට නොහැකිය. මගේ යාළුවෙකු මා හට පැවසු කතාවක් මේ වෙලාවේ මගේ මතකයට ආවේය. එක්තරා හාමුදුරු නමක් චීනයේ සංචාරයට ගොස් ඇත. උන්වහන්සේට මගදී ඇති වූ වතුර පිපාසයට වතුර බෝතලයක් ගැනීමට කඩයකට වැඩම කර ඇත. එහිදී උන්වහන්සේ ඉංග්‍රීසි බසින් වතුර බෝතලයක් ඉල්ලා ඇත. කඩේ සිටි මිනිහට එය කිසිම අයුරකින්වත් තේරී නොමැත. අන්තිමේදී උන්වහන්සේ හස්ත මුද්‍රාවෙන් දෙතුන් වතාවක් සඥා කොට තමා වතුර බෝතලයක් මිලදී ගෙන ඇත්තේ. ඉතින් බලන්න, ඒ මිනිසුන් “water” වැනි සරල ඉංග්‍රීසි වචනයක් වත් දන්නේ නැත. අපේ රටේ මනුස්සයෙකුට මෙවැනි දෙයක් වුනොත් ඒ මනුස්සයාට දහසක් ඇනුම් පද සහ කයි කතන්දර අසන්නට වෙනවා නොඅනුමානය.


මා ඉහත සඳහන් කල දේවල් ඉතා සුළු දේවල් කියා ඔබ සිතනවානම්, පොඩි සංචාරයකට හෝ මා ඉහත සඳහන් කල රටවල් වලට ගොස් බලන මෙන් ඉල්ලමි. රටක භාෂාව යනු එරට ජාතියේ අනන්‍යතාව පිළිඹිමු කරනා සංඛේතයකි. සිංහල භාෂාව භාවිතා කරනුයේ අප සිංහලයින් පමණි. වෙන කිසිම රටක එය භාවිතා වන්නේ නැත. එබැවින් අප හෙළ බස අප ජාතිය සමග එකට බැඳී ඇති බව අමතක නොකළ යුතුයි.


හිතපු නැති විදියට ලිපිය ඉතා දීර්ඝ එකක් වුණා. සමහරවිට තරමක් කම්මැලි ගතියකුත් ගැබ් වෙලා ඇති. එමෙන්ම ව්‍යාකරණ දෝෂ තිබෙන්නටද පුළුවන. ඒ සියල්ලටම සමාව අයදින ගමන් අදට සමුගනිමි. ඔබගේ අදහස්, උදහස්, තර්ජන, ගර්ජන යෝජනා ඇතුළු සියළු දෑ සඳහා කළුලෑල්ල විවෘතයි. 

ඔබ සැමට ජය ශ්‍රී !

පසුවදන 
පොඩ්ඩේ කොලුවට ඉංගිරිසි බැරි නිසා තරහට මේ ලිපිය ලියුවයි ඇතැමුන් සිතන්නට බැරි කමක් නැත. මේ ලිපිය ලියුවේ මගේ මව් බස වන සිංහල ගැන ඇති වූ කැක්කුමෙනි. එසේත් නැතුව ඉංගිරිසි බැරි නිසා නොවේ. පොඩ්ඩේ කොලුවට ඉංගිරිසි ඇඟට පත්තියම් වෙලා තියෙන්නේ හොඳේ.