Thursday, August 20, 2015

වඳුරු අතේ සාපය - පළමු කොටස


ඉතින් යාලුවනේ කාලෙකට පස්සේ ආයෙමත් කළුලෑල්ල පැත්තේ එන්න පුළුවන් වුණා. දිගටම ලියන්න කියලා හිතාගෙන හිටියට බැරි වුණේ රක්ෂා ජිවිතේ සිදු වුන වෙනස්කම් නිසයි. දැන්නම් දිගටම ලියන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් කතන්දර කියවන්න අපි හුඟක් ආසයිනේ. ඒක නිසා මම අහම්බෙන් වගේ කියවපු කෙටි කතාවක් පරිවර්තනය කරන්න හිතුවා. මම දන්නේ නැහැ මීට කලින් කවුරු හරි මේ කතාව පරිවර්තනය කරලා තියෙනවද කියලා. මේක එංගලන්ත ජාතික ඩබ්. ඩබ්. ජේකබ්ස් විසින් 1902 දී රචිත The Monkey’s Paw කෙටිකතාවේ පරිවර්තනයකි. මෙම කෙටිකතාව සන්ත්‍රාස (horror) වර්ගයේ එකක් වන අතර අවුරුදු 100 කටත් වඩා පැරණිය. ලියා තිබුණේ පැරණි ඉංග්‍රීසි භාවිතයෙනි. එසේම ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන්නන් අතර මෙය තවමත් භාවිතා වෙනවා. ඉතින් පරිවර්තනය කිරිමේදී සෑහෙන ගැටළු මතු වුණා. කෙසේ හෝ මුල් පිටපතේ අදහස විකෘති නොකර ඒ ආකාරයෙන්ම පරිවර්තනය කිරීමට උපරිමයෙන්ම උත්සහ කළා. සාර්ථක අසාර්ථකභාවය තීරණය කිරීම ඔබ සතුයි. තව දෙයක් තියෙනවා කියන්න, මෙම කෙටිකතාව ආශ්‍රයෙන් ඒ නමින්ම බයිස්කෝප් එකක්ද නිපදවා තියෙනවා. එහෙනම් අපි කතාව රසවිඳිමු.

රාත්‍රිය වැසි රහිත ශීතල එකක් නොවූ නමුදු 'ලබෝනම්' විලාවේ කුඩා සාලයේ ජනේල මත වූ තිර රෙදි වසා දමා තිබූ අතර ගිනි උඳුනේ වූ ගිනි මැලය තදින් ඇවිලෙමින් තිබුණි. සාලය මැද පිය-පුතු දෙදෙනා චෙස් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියෝය. පියා සතුව ක්‍රීඩාව පිලිබඳ දැනුම අල්ප බව තේරුම් ගත හැකි වුයේ, වැඩිය හිතන්නේ නැතිව ඔහේ ඉත්තන් ඇදීමත් තම 'රජුව' අනතුරේ වැටෙනා ස්ථාන වලට යොමු කිරීමත් නිසාවෙනි. මෙවැනි අවස්ථාවලදී, ඉතා සන්සුන්ව ගෙත්තමක නිරත වී සිටි මහළු වයිට් මහත්මියගෙන් එල්ල වුයේ උපහාසාත්මක ඇනුම්පදයකි.

"අහන්නකෝ හුලඟේ හඬ" යි වයිට් මහතා පැවසුවේ වැරදි ඉත්තෙක් ඇදීමෙන් වූ අතපසුවිම තම පුත්‍රයාට අසු නොවනු පිණිස ඔහුගේ අවධානය වෙනතක යොමු කිරීමේ යටි අරමුණෙනි.

"මට ඇහෙනවා" යි පුත්‍රයා නොමනාපයෙන්  පිළිතුරු දුන්නේ චෙස් ලෑල්ල මනා ලෙස පිරික්සමිනි. "චෙක්" තම දෑතේ හිරි අරිමින් ඔහු පැවසුවේය.

"මට හිතන්න අමාරුයි මිනිහට අද එන්න පුළුවන් වෙයිද කියලා" තම අතක් චෙස් ලෑල්ලේ දාරයක් මත හොබවමින් ඔහුගේ පියා පැවසුවේය.

"මේට්" පුත්‍රයා පිළිතුරු දුන්නේය.

"ඕක තමා දුර බැහැර පැත්තක ජිවත් වෙන එකේ අමාරුව" යි වයිට් මහතාගේ මුවින් හදිස්සියේම පැන්න නමුත් ප්‍රචණ්ඩ යමක් කිරීමේ ලකුණක් ඔහු වෙතින් දිස් නොවීය.

"සත්තු පිරිච්ච මඩ ගොහොරු ඇති දුෂ්කර පලාත්වලිනුත් මේක තමා එපාම කරපු පැත්ත. අඩිපාර තනිකරම මඩ වගුරක්. මහපාර හරියට දොළ පාරක් වගේ. මම දන්නේ නැහැ මේ මිනිස්සු මොනවා හිතනවද කියලා. මම හිතන්නේ, මේ පාරේ ගෙවල් දෙකක් විතරක් තියෙන නිසා උන්ට ගානක් නැහැ කියලයි"

"කමක් නෑ අනේ" ඔහුගේ බිරිඳ අස්වැසුම් ස්වරයෙන් කීවාය. "ඔයාට ඊළඟ පාර දිනන්න පුළුවන් වෙයි".

වයිට් මහතා තියුණු බැල්මක් හෙළුවේ හරියටම අම්මයි පුතයි අතර සුපුරුදු බැල්මක් හුවමාරු වෙන අතරතුරේදීයි. ඔහුගේ සිතට නැගුනු වචන තොල් අතර ලොප් වුණි. ඉන්පසු ඔහු සිය සුදු ගැහුණු හිනී රැවුල අතගෑවේ පසුතැවිල්ලෙන් මෙනි.

"ඔය  එන්නේ මිනිහා" යි වයිට් මහතාගේ පුතා වන 'හර්බට්' කිවේ ගේට්ටුව අරින ශබ්දයත් ඉන් අනතුරුව ඉදිරියට ඇදුනු බර අඩි ශබ්දයත් කන වැකුණු විටය.

කඩිමුඩියේම මහල්ලා නැගී සිටියේ අමුත්තා පිළිගැනීමට යාමටයිඉන්පසු ඇසුණේ ඔවුනොවුන් ශෝකය ප්‍රකාශ කර ගන්නා වදන් පෙළකි. "චුක්..චුක්.." වයිට් මහත්මියගේ මුවින් පිට වූයේ උපහාසාත්මක ශබ්දයකි. එසැනින්ම තම ස්වාමියා සාලයට පිවිසියෙන් බොරුවට කැස්සාය.

මේ “සාජන්ට් මේජර් මොරිස්” වයිට් මහතා ඔහුව හඳුන්වා දෙමින් පැවසුවේය.

මේජර්වරයා එකිනෙකා හා අතට අත දීමෙන් පසු චිමිනියට ආසන්නයේ වූ සැප පහසු පුටුවකට බර වෙමින් බලා සිටියේ නිවැසියන් විස්කි බෝතලයක් සහ විදුරු එලියට ගන්නා අයුරුත් කුඩා තඹ කේතලයක් ලිප මත තබන අයුරුත්ය.

තෙවන වීදුරුව නිම වනවාත් සමගම ඔහු කියවන්නට පටන් ගත්තේය. රවුමට හිඳගෙන සිටි කුඩා පවුල, වෙනත් පෙදෙසකින් පැමිණි මේ අමුත්තා දෙස මහත් ආශාවෙන් අවධානය යොමු කර ගෙන සිටියේ, ඔහු විසින් උරහිස් අකුලුවාගෙන පුටුවට බර වී විස්තර කරමින් සිටි යුද්ධයේ වූ දරුණු සිද්ධීන් සහ වීර ක්‍රියා සහ වසංගත ගැනත් අමුතු මිනිසුන් ගැනත්ය.

“අවුරුදු විසි එකක් පුරාම” වයිට් මහතා සිය බිරිඳ සහ පුත්‍රයා දෙසට ඔලුව වනමින් පැවසුවේය. “මෙයා යුද්දෙට යනකොට ගබඩාවේ වැඩ කර කර හිටපු පුංචි කොලු ගැටයෙක්, බලන්නකෝ දැන් හැටි...”

“එයාට එච්චර නරකක් වෙලා කියලා පේන්නේ නැහැ” වයිට් මහත්මිය ගරුසරුව පැවසුවාය.

“මම කැමතියි ඉන්දියාවට යන්න. පොඩ්ඩක් ඇවිදලා බලලා එන්න” මහල්ලා පැවසුවේය.

“ඔයා දැන් ඉන්න තැන ඊට වඩා හොඳයි” දෙපසට ඔලුව වනමින් මේජර්වරයා පැවසුවේය. ඔහු, හිස් කල වීදුරුව තබමින් සුසුමක් හෙලා නැවතත් ඔලුව වැනුවේය.

“මම ආසයි බලන්න පරණ පන්සලුයි ෆකිර්වරුනුයි විජ්ජාකාරයින්වයි” මහල්ලා කිවේය. “මොරිස්, පහු ගිය දිනයක ඔයා මට කිව්වේ මොකක්ද මේ...වඳුරු අතක කතාවක්?

“මොනවත් නැහැ” සොල්දාදුවා පැකිලෙමින් කිවේය. “ඒ ගැන අහන් ඉන්න එක පොඩ්ඩක්වත් වටින්නේ නැහැ”

“වඳුරු අත?” වයිට් මහත්මිය කුතුහලයෙන් පැවසුවාය.

“ඒක හරියට ඔයගොල්ලෝ කියන ඔය මැජික් එකක් වගෙයි, සමහරවිට.” මේජර් නොසැලකිල්ලෙන් කිවේය.

ඔහුට සවන් දෙන තිදෙනා මහත් ආශාවෙන් ඉදිරියට බර විය. අමුත්තා හිස් මනසෙන් යුතුව ඔහුගේ හිස් වීදුරුව සිය තොල් මත රඳවා නැවත එය පහලට ගෙන ගියේය. මහල්ලා ඔහු වෙනුවෙන් එය නැවත පිර වුවේය.

“ඒක බලන්න ඕනේ නම්..” යි, ඔහුගේ සාක්කුව අතපත ගාමින් පැවසු මේජර්වරයා, “ඒක මේ සාමාන්‍ය අතක්..මමියක් වගේ වෙන්න වේලපු” යි තවදුරටත් කිවේය.

ඔහු සිය සාක්කුවෙන් යමක් එලියට ගෙන හැර පෑවේය. වයිට් මහත්මිය මුහුණ පුළුටු කරගෙන මදක් පිටිපසට වූ නමුත් ඇයගේ පුතා එය අතට ගෙන මහත් වුවමනාවෙන් පිරික්සන්නට විය.


වඳුරු අත් කැබැල්ල


“මොකක්ද මේකේ තියෙන විශේෂත්වය?” වයිට් මහත්මයා සිය පුත්‍රයාගෙන් එය ගනිමින් ඇසුවේය. ඉන්පසු එය හොඳින් පිරික්සා මේසය මත තැබුවේය.

“ඕකේ සාපයක් තියෙනවා; වයසක ෆකිර් කෙනෙක් ඕකට සාපයක් කවලා තියෙනවා” යි මේජර්වරයා පැවසුවේය. “එයා හුඟක් භක්තිමත් කෙනෙක්. එයාට ඕන වෙලා තිබුනලු පෙන්නන්න දෛවය විසින් මිනිසුන්ගේ ජිවිත මෙහෙයවන බවත් කවුරුහරි ඊට මැදිහත් වෙනවනම් ඒක එයාලගේ දුකට හේතු වෙන බවත්. එයා ඕකට ජීවම් කරලා තියෙනවා වර තුනක්. එක්කෙනාට වර තුන බැගින් පුද්ගලයින් තුන් දෙනෙකුට මේකෙන් වර ඉල්ලන්න පුළුවන්.

ඔහුගේ අසන්නන්ගේ මුවගට සිනහවක් නංවන්නට තරම් ඔහුගේ කතා විලාශය සිත්ගන්නා සුළු විය.

“ඉතින්, ඇයි ඔබතුමා වර තුනක් ඉල්ලන්නේ නැත්තේ?” හර්බර්ට් වයිට් නුවනැතිව ඇසුවේය.

මේජර්වරයා හර්බර්ට් හට පිළිතුරු දුන්නේ මැදි වියැති පුද්ගලයින් නිර්භීත තරුණයන් හට සැලකිය යුතු පරිද්දෙනි. “මම ඉල්ලුවා”, ඔහු සෙමින් පැවසුවේය. ඒ සමගම ඔහුගේ මුහුණ සුදු පැහැ ගැනුණි.

“ඉතින් ඒ වර තුනම ඉෂ්ට උනාද?” වයිට් මහත්මිය ඇසුවාය.

“ඔව් ඒවා ඉෂ්ට වුණා” මේජර්වරයා තෙපළේය. ඉන්පසු අතැති වයින් වීදුරුව, ඔහුගේ ශක්තිමත් දත් අතර සිර වුයේය.

“වෙන කවුරුත් මේකෙන් වර ඉල්ලුවේ නැද්ද?” මහලු ගැහැණිය නැවත ඇසුවාය.

“ඉල්ලපු පලවෙනි මිනිහගේ වර තුනම ඉෂ්ට වුණා. මම දන්නේ නැහැ මොනවද පලවෙනි වර දෙක කියලා, ඒත් අන්තිම එක නම්, මිනිහගේ මරණය වෙනුවෙන්. අන්න එහෙම තමා මේක මගේ අතට ආවේ.”

පිරිසම නිහඬතාවයක ගිල්ලිමට තරම් ඔහුගේ කටහඬ බැරෑරුම් විය.

“ඔයාගේ වර තුනම ලැබුණු නිසා, ඒක ඔයාට වැඩක් නැහැනේ මොරිස්” මහලු මිනිසා අවසානයේ ඇසුවේය. “ඇයි ඉතින් ඔයා ඕක තියාගෙන ඉන්නේ?”

සොල්දාදුවා හිස දෙපසට සෙලවිය. “අරුමෝසමට වගේ.” ඔහු සෙමින් තෙපලුවේය. “මට මේක විකුණන්න අදහසක් තිබ්බා. ඒත් මම හිතන්නේ නැහැ, මම ඒක විකුනාවී කියලා. මොකද ඒකෙන් සිද්ධ වෙච්ච අවාසනාවන්ත දේවල් හොඳටම ඇති. අනික, මිනිස්සු ඒක සල්ලි දීලා ගන්න එකක් නැහැ. කට්ටියක් හිතාවි ඒක හරියට සුරංගනා කතාවක් කියලා. පොඩ්ඩක් හරි විශ්වාසයක් තියෙන අය කියාවි, වැඩේ ඇත්තද කියලා බලලා පස්සේ සල්ලි ගෙවන්නම් කියලා.”

“ඔයාට ඕකෙන් තවත් වර තුනක් ඉල්ලන්න පුලුවන්නම්...., මහලු මිනිසා ඔහු දෙස තියුණු ලෙස බලමින් ඇසුවේය. “ඔයා ඉල්ලනවාද?”

“මම දන්නේ නැහැ....අනෙකා කිවේය. “මම දන්නේ නැහැ”

ඔහු අත් කැබැල්ල ගෙන, සිය මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල ආධාරයෙන් කරකවමින් සිට, එක්වරම එය ගින්දරට විසි කළේය. මහල්ලාගේ මුවින් සියුම් ශබ්දයක් පිට විය. ඉන්පසු එකවරම දෙකට නැමී, වඳුරු අත එලියට ඇද ගත්තේය.

“ඕක පිච්චිලා යන්න දුන්න නම් තමා හොඳ” සොල්දාදුවා සන්සුන් ලෙස පැවසුවේය.

“මොරිස්, ඒක ඔයාට ඕන නැත්නම්, මට දෙන්න” මහල්ලා කිවේය.

“මට බැහැ” ඔහුගේ යහළුවා කෙලින්ම කිවේය. “මම ඒක ගින්දරට විසි කළා. ඔයාට ඕන නම් ඒක තියාගන්න. හැබැයි පස්සේ මට බනින්න එපා සිද්ධ වෙච්ච දේවල් වලට. දැනුම් තේරුම් ඇති මිනිහෙක් විදියට ආයෙමත් ඕක ගින්දරට විසි කරන්න”

මහල්ලා හිස දෙපසට වනා තමා අත්පත් කරගත් නව වස්තුව සෙමෙන් පිරික්සන්නට විය. “කොහොමද ඒක කරන්නේ? ඔහු විමසුවේය.

“ඒක දකුණු අතින් පොඩ්ඩක් උඩට උස්සලා අල්ලාගෙන, හයියෙන් ඔයාට ඕන දේ ඉල්ලන්න” මේජර්වරයා පැවසුවේය. “ඔන්න මේකේ ප්‍රථිපල ගැන මම ඔයාට අනතුරු අඟවලා තියෙන්නේ.”

“මේක හරියට අරාබි නිසොල්ලාසේ වගේ” යි වයිට් මහත්මිය පවසමින් පුටුවෙන් නැගිට්ටේ රාත්‍රී ආහාරය පිලිගැන්විමටයි. “නරකද මට අත් හතරක් ලැබෙන්න ප්‍රාර්ථනා කලොත්?”

ඇයගේ ස්වාමියා සිය සාක්කුවෙන් වඳුරු අත එලියට ගන්නවාත් සමගම, පවුලේ තිදෙනාගේ මුවින් මහා සිනහවක් පැන නැග්ග නමුත් මේජර්වරයාගේ මුහුණේ දක්නට ලැබුණේ සංකීර්ණ  බැල්මකි.

“ඔයාට මොනවා හරි ප්‍රාර්ථනා කරන්න ඕනෙම නම්, හොඳට හිතලා බලලා හොඳ දෙයක් ප්‍රර්ථනා කරන්න” ඔහු රළු හඬකින් පැවසුවේය.

වයිට් මහතා වඳුරු අත නැවත සිය සාක්කුවේ බහලා ගත්තේය. ඉන්පසු මේසය වටා පුටු සකස් කර සිය මිතුරාට මේසයට ආරාධනා කළේය. රාත්‍රී ආහාරය අතරතුරදී වඳුරු අත පිළිබඳව බොහෝ දුරට අමතකව ගියේය. ආහාරයෙන් පසුව පවුලේ තිදෙනාම වාඩි වී, සොල්දාදුවාගේ ඉන්දීය වික්‍රමයන්ගේ දෙවන කොටසට වසඟ වී සවන් දුන්නෝය.

"එයා කියපු අනික් කතා වලට වඩා වඳුරු අතේ කතාව ටිකක් විශ්වාස කරන්න අමාරු නිසා, අපි එකෙන් එච්චර ලොකු දෙයක් ඉල්ලන්න නරකයි" හර්බර්ට් පැවසුවේ අවසාන දුම්රිය අල්ලා ගැනීමට අමුත්තා පිට වූ පසු දොර වසනවාත් සමගයි.

"තාත්තා, ඔයා ඒක වෙනුවෙන් එයාට මොනවා හරි දුන්නද?" වයිට් මහත්මිය සිය සැමියාට ළං වී විමසුවාය.

"ඒ හැටි දෙයක් දුන්නේ නැහැ. සොච්චමක් දුන්නා" ඔහු කිවේය. "එයා එපාමයි කිව්වා, ඒත් මම බලෙන්ම දුන්නා. ඊට පස්සේ මිනිහා මට බල කරලා කිව්වේ ඒක විසි කරලා දාන්න කියලා."

"හරියට අපි පෝසත් වෙලා, ප්‍රසිද්ධ වෙලා සතුටින් ඉන්නනේ යන්නේ... හර්බර්ට් කීවේ බොරු බියක් ආරුඪ කරගත් හඬකිනි. මුලින්ම අධිරාජ්‍යයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න තාත්තේ, එතකොට ඔයාගේ හාමිනේගෙන් කිසි වදයක් නැති වේවී."

ඔහු මේසය වටා දුවන්නට වූයේ පුටු කවරයක් අතැතිව වයිට් මහත්මිය ඔහුට පහර දීමට ආ නිසාවෙනි.

වයිට් මහතා අත් කැබැල්ල එලියට ගෙන, සැකමුසු ලෙස ඒ දෙස බලා සිටියේය. "මම දන්නේ නැහැ මොනවා ඉල්ලන්නද කියලා." ඔහු සෙමෙන් පැවසුවේය. "පේන විදියට මට ඕන ඔක්කොම දේවල් තියෙන හැඩයි."

"ඔයා කැමති මේ ගේ හරියට හදා ගන්නවට නේද?, හර්බර්ට් කිවේ පියාගේ උරහිස මත අතක් තබමිනි. "එහෙනම්, ඉල්ලන්න පවුම් දෙසීයක්, ඒ ඇති වැඩේට."

ඔහුගේ පියා සිය වචන විස්වාස කරමින් සිනාසී, වඳුරු අත ඉහලට කර අල්ලා ගත්තේය. මේ අතරතුර ඔහුගේ පුතා උදාර මුහුණෙන් යුක්තව සිය මවට ඇසක් ගසා සන් කරමින් පියානෝව ඉදිරියෙන් වාඩි වී සිත්ගනාසුලු ස්වර කිහිපයක් වාදනය කළේය.

"මම ප්‍රාර්ථනා කරනවා පවුම් දෙසීයක් ලැබෙන්න කියා" මහලු මිනිසා පැහැදිලිව කිවේය.


ඡායාරූපය මෙතනින් 


ඒ සමගම සුභ පැතුම් වාදනයක් පියානොවෙන් පැන නැගුනත් මහල්ලාගෙන් පිට වූ බියජනක කෑ ගැසීමෙන් එය යටපත් වුයේය. ඔහුගේ බිරිඳ සහ පුතා දඩි බිඩි ගා ඔහු වෙත දුව ආවෝය.

"ඒක හෙළ වුණා" ඔහු කෑ ගෑවේ, පිළිකුලෙන් යුතුව බිම වැටි තිබූ අත් කැබැල්ල දෙස බලමිනි.

"මම ප්‍රාර්ථනා කරනකොට ඒක හරියට සර්පයෙක් වගේ මගේ අතේ වෙලුනා."

"ඒත් මට නම් කිසිම සල්ලියක් පේන්නේ නැහැ" ඔහුගේ පුතා බිම වැටී තිබුණු දෑ ඇහිඳ මේසය මත තබමින් කීවේය. "ඕන ඔට්ටුවක් ඕක කවදාවත් හම්බු වෙන්නේ නැහැ"

"ඒක ඔයාගේ මනස්ගාතයක් තාත්තේ" ඔහුගේ බිරිඳ කිවේ ඔහු ගැන ලතවෙමින්ය.

ඔහු හිස දෙපසට වැනිය. "කමක් නැහැ, කාටවත් කරදරයක් වුනේ නැහැනේ, ඒත් මම නම් හුඟක් බය වුනා ඒකෙන්."

පිරිමින් දෙදෙන සිය දුම් පයිප්පයන් උරන අතර ඔවුන් ගිනි තපිමින් වාඩි වී සිටියෝය. පිටත වූ සුළඟ වෙනදාටත් වඩා සැඩ විය. උඩ තට්ටුවේ දොරක් වේගයෙන් ඇරෙන වැහෙන ශබ්දය මහලු මිනිසාගේ ඇඟේ හී ගඩු නැංවීමට සමත් වූයේය. අසාමාන්‍ය නිහඬතාවක් තිදෙනා අතර පැතිර ගියේය. මහලු යුවල නින්දට යාමට නැගිටින තුරු එය පැතිර තිබුණේය.

"මම බලාපොරොත්තු වෙනවා ඔයාගේ ඇඳ මැද්දේ තිබිලා ලොකු සල්ලි මල්ලක් හම්බු වෙයි කියලා. ඒ වගේම ඔයා ඒ අමාරුවෙන් හම්බු කරගත්ත දේ සාක්කුවේ දා ගන්නකොට අල්මාරියේ උඩ ඉඳන් භූතයෙක් බලාගෙන ඉඳීවි කියලා" හර්බර්ට් කීවේ ඔවුනට සුභ රාත්‍රියක් පැතීමෙන් අනතුරුවයි.

හර්බර්ට් මලානික වී යන ගින්දර දෙස බලාගෙන අඳුරේම වාඩි වී සිටියේය. ගින්දර තුලින් විව්ධාකාර මුහුණු දිස්වන අයුරු ඔහු දුටුවේය. ඒ තුලින් දිස් වුනු අවසන් රුපය ඉතා භයානක විය. රිලවෙකු වැනි සතෙක් රවුද්‍ර විලාසෙන් ඔහු දිහා බලා සිටියේය. රුපය ක්‍රමයෙන් පැහැදිලි වෙන්නට පටන් ගත්තේය. ඔහුගේ මුවින් නොසන්සුන්සහගත සිනහවක් පැන නැංගේය. මේසය මත තිබූ  අඩක් පිර වූ වීදුරුව වෙත ඔහුගේ අත දිව ගියේ, එහි වූ වතුර ටික ගින්දර දෙසට දමා ගැසීමටයි. නමුත් මේසය මත තිබූ වඳුරු අතින් ඔහුගේ අත ග්‍රහණය කර ගත්තේය. කලබල වූ හර්බර්ට් වෙව්ලමින් සිය අත කබායේ අතුල්ලා දැම්මේය. ඉන්පසු ඔහු නිදාගැනීමට ගියේය.

පසු දින උදෑසන ශිත සුළං පරයා දීප්තිමත්ව හිරු නැගී උදෑසන කෑම මේසය වෙත ගලා ආවේය. හර්බර්ට් පෙරදින තමා බිය වූ දේ ගැන සිනහා වෙමින් සිටියේය. පෙර දින රාත්‍රියේ නොවූ විරූ සුවබර බවක් කාමරය පුරා පැතිරී තිබුණි. රැලි වැටී ජරාජීර්ණව තිබූ අත් කැබැල්ල සයිඩ්බෝඩය මත ඔහේ විසි කර දමා තිබුණේ කිසිම වැදගැම්මකට නැති දෙයක් පරිද්දෙනි.

"මේ පරණ සොල්දාදුවෝ ඔක්කොම එකයි, මට හිතෙන්නේ" වයිට් මහත්මිය කීවාය. "මේ විකාර වලට අපිත් ඇහුම්කන් දුන්නනේ! මේ දවස් වල කොහොමද අපි ඉල්ලන දේ හම්බු වෙන්නේ? අනික හම්බු වුනත්, පවුම් දෙසීයකින් ඔයාට ලොකු බල පෑමක් නැහැනේ තාත්තේ?"

මිනිහගේ ඔලුවට මොකක් හරි කඩන් වැටිලද කොහෙද” හර්බර්ට් සරදම් හඬින් කිවේය.

“මොරිස් කිව්වේ හැම දෙයක්ම වෙන්නේ ඒක වෙන්න ඕන විදියට කියලයි, ඔයාට ඒක වෙනස් කරන්න ඕන නම් ඒකෙ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙනවා කියලයි.” ඔහුගේ පියා කිවේය.

“එහෙනම්, මම එන්න කලින් සල්ලි වලට රණ්ඩු වෙන්න එපා” යි හර්බර්ට් කිවේ කෑම මේසයෙන් නැගිටින අතරතුරේදීය. “මට බයයි අපිට ඔයාව අතහරින්න වෙන තරමට, ඕක නිසා පහත් මිනිහෙක් වෙයි කියලා” 

මතු සම්බන්ධයි..... 

එංගලන්ත ජාතික ඩබ්. ඩබ්. ජේකබ්ස් විසින් 1902 දී රචිත The Monkey’s Paw කෙටිකතාවේ පරිවර්තනයකි. 

1 comment :

ඕන දෙයක් කුරුටු ගාලා යන්න, ඩස්ටර් එක මගේ අතේ තියෙන්නේ :-)