Wednesday, August 26, 2015

හොල්මන් ගෙදර - දෙවන සහ අවසන් කොටස

පළමු කොටස මෙතනින්

"අපි මේ සෙල්ලම නවත්තලා දාලා ගියොත් නරකද?" එක්වරම බාන්ස් කිවේය. "මම ඔය භූතාත්ම ගැන විශ්වාස කරන්නේ නැහැ තමා. ඒත් මට දැනෙන දෙයින් මම ටිකක් බය වෙලා ඉන්නේ. උඹලට ඕන තරමක් හිනා වෙයල්ලා, පල්ලෙහායින් දොරක් ඇරෙන හඬකුයි පඩිපෙළෙන් අඩි සද්දයකුයි ආවා වගේ මට හොඳට ඇහුනා."

ඔහුගේ වචන අවසන් වීමටත් පෙර අනෙක් තිදෙනාගෙන් මහා සිනා හඬක් පිට විය.

" එනවා එහෙනම්" මිගෙල් කීවේ සමච්චලේටය. "මම උඹට පෙන්නලා ඉවර වෙද්දී උඹ සම්පුර්ණයෙන්ම විශ්වාස කරාවි. එහෙනම්, කව්ද යන්නේ වතුර ගේන්න? උඹට පුලුවන්ද බාන්ස්?"

"බැහැ"

"මේකේ වතුර තිබ්බත් මෙච්චර කල් නිකම් තිබිලා පල් වෙලා ඇති" ලෙස්ටර් කිවේය. "අපි අමුවෙන්ම ගහමු"

මිගෙල් ඔලුව වනා බිම වාඩී  වී බෙලෙක් කෝප්පය දෙසට අත ගෙන ගියේය. දුම් පයිප්ප දැල් වූ නිසා මුළු කාමරයම දුම්කොළ සුවඳින් පිරී ගියේය. වයිට් කාඩ් කුට්ටමක් එලියට ගත්තේය. ඔවුන්ගේ විවිධ කතා සහ සිනහා හඬවල් අවට පැතිරී ගියේය.

"හිස් කාමර නිසා මම හැමතිස්සෙම රැවටෙනවා මට තියෙන්නේ ගැඹුරු කටහඬක් කියලා" මිගෙල් කිවේය. "හෙට මම......"

එක්වරම ඉටිපන්දම නිවී ගොස් යමක් තම හිසේ වදිනු ඔහුට දැනුනේය. ඔහුගෙන් පිට වුවේ එක්වරම හුස්ම හිරවෙන විට පැන නගින හඬකි. බිය වූ අනෙක් තිදෙන ඉද්ද ගැහුවාක් මෙන් සිට ගත්තෝය. සුළු මොහොතකින් මිගෙල් සිනා වෙන්නට පටන් ගත්තේය.

"මේ ඉටිපන්දමනේ, මම ඒක හරියට කණ්ඩියේ ගහලා නැහැ"

බාන්ස් ගිණිකුරක් ගසා නැවත ඉටිපන්දම දල්වා එය තිබූ තැනම නැවත ගැසුවේය. ඉන්පසු තම කාඩ්පත් ටික ගෙන වාඩි වූවේය.

"මොකක්ද මම කියන්න ගියේ? " මිගෙල් කීවේය. "අහ්හ්..හරි හෙට මම...."

"පොඩ්ඩක් අහන්න" වයිට් බාධා කරමින් කීවේ සිය අතකින් මිගෙල්ගේ කබා අතක්ද අදිමිනි. "මට කව්රු හරි හිනාවෙන හඬක් ඇහුණා."

"මේ බලපල්ලා" බාන්ස් පටන් ගත්තේය. "උඹලා මොකද කියන්නේ දැන්වත්, අපි ආපහු යමු යන්න. මට නම් දැන් මේක හොඳටම ඇති. මටත් එක එක අමුතු සද්ද ඇහෙනවා, එළියේ පැසේජ් එකේ මොකෙක් හරි එහෙට මෙහෙට යන හඬක්. මම දන්නවා ඒක මනස්ගාතයක් විතරක් කියලා. වුනාට ඒක නිසා මම හුඟක් අපහසුවෙන් ඉන්නේ"

"උඹට ඕනේ නම් පලයන්" මිගෙල් කිවේය. "අපි නිකම්මු වගේ මේකේ ඉන්නම්. උඹ පහලට බහිනකොට අර අනාතයාගෙන් අහපන් පොඩ්ඩක් අත අල්ලාගෙන ඉන්න කියලා."

බාන්ස් තරහින් වෙව්ලා ගියේය. ඔහු නැගිට බාගෙට වසා තිබූ දොර වෙත ගොස් මදක් කන් දී ගෙන සිටියේය.
"ඉතින් එලියට පලයන්" මිගෙල් අනෙක් දෙදෙනා වෙත ඇසක් ගසමින් කිවේය. "පුලුවන්නම් පල්ලෙහා දොර ලඟට ගිහිල්ලා ආයෙමත් වරෙන්"

බාන්ස් නැවත ඇතුලට පැමිණ ඉටිපන්දම වෙත මදක් නැමී ඔහුගේ දුම් පයිප්පය දල්වා ගත්තේය.

"මම පොඩ්ඩක් කලබල වෙලයි ඉන්නේ. ඒත් හොඳ සිහියෙන් ඉන්නේ" ඔහු කිවේ දුම් උගුරක් වා තලය වෙත මුදාහරිමින්ය. "මගේ ඉව කියන්නේ  එළියේ තියෙන පැසේජ් එකේ මොකෙක් හරි එහෙ මෙහෙ යනවා කියලයි. ඒත් මගේ බුද්ධිය කියන්නේ ඒක නිකම්ම නිකම් විකාරයක් කියලා විතරයි. කෝ මගේ කාඩ් ටික?"
ඔහු නැවත වාඩි වී කාඩ් ටික අතට ගෙන දෙස බලාගෙන සිටියේය.

"වයිට් උඹේ වාරේ" ඔහු කිවේ මද වෙලාවකින්ය.

වයිට්ගෙන් කිසිදු පිළිතුරක් හෝ ප්‍රතික්‍රියාවක් නොලැබුණි.

"මොකද, මිනිහට නින්ද ගිහිල්ලද?" මිගෙල් ඇසුවේය. "නැගිටපන් නාකියෝ, නැගිටලා සෙල්ලම් කරපන්"

ඔහු අසල සිටි ලෙස්ටර් ඔහුගේ අතින් ඇද සෙමින් ඔහුව සෙලෙව්වේය. නමුත් තවමත් ඔහු නිසලය. ඉන්පසු වේගයෙන් ඔහුගේ අතින් ඇද්දද ප්‍රතිඵලය එසේම විය. වයිට් බිත්තියට හේත්තු වී සිටි අතර ඔහුගේ ඔලුව පහලට කඩා වැටි තිබුණි. මිගෙල් ඔහුගේ කණට කර මහා හයියෙන් කෑ ගසා ප්‍රහේලිකාසහගතව අනෙක් දෙදෙනා දෙස බැලුවේය.

"මිනිහා නිදාගෙන ඉන්නේ හරියට මැරිලා වගේ" අනතුරුව ඔහු කිවේ රළු ලෙසය. "හරි, තවමත් අපි තුන්දෙනක්ම ඉන්නවනේ කයියක් දාගෙන ඉන්න"

"ඔව්" ඔලුව වනමින් ලෙස්ටර් කිවේය. "එහෙම නෙමේ නම්..දෙයියනේ! හිතපන්.."

ඔහු වෙව්ලමින් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියේය.

"මොනවද හිතන්නේ? මිගෙල් විමසුවේය.

"මොනවත් නැහැ" ලෙස්ටර් ගොත ගැසුවේය. "අපි මූව අහරවමු. තව පාරක් ට්‍රයි කරමු. වයිට්! වයිට්!"

"මේක එච්චර හොඳ දෙයක් නෙමේ වගේ" මිගෙල් කිවේ සංකීර්ණ ස්වරයෙනි. "මොනවා හරි අවුලක් තියෙනවා මේ නින්දේ"

"ඒක තමා මමත් කිව්වේ," ලෙස්ටර්ද කිවේය. "මිනිහට විදියට නින්ද ගියා නම් ඇයි එහෙනම්..."

මිගෙල් ඉද්ද ගැහුවාක් මෙන් නැගිට්ටේය. "විකාර" ඔහු රළු ලෙස කිවේය. "මිනිහට හොඳටම මහන්සියි. එච්චරයි. මිනිහවත් අරන් මෙතනින් යමු යන්න. උඹ අල්ලපන් කකුල් දෙකෙන් බාන්ස්ට පුළුවන් ඉටිපන්දම අල්ලලා පාර පෙන්නන්න. ඔව්? කව්ද ඔය?" ඔහු වේගයෙන් දොර දෙස බැලුවේය

"කව්රුහරි දොරට තට්ටු කළා වගේ මට ඇහුනේ" ඔහු කිවේ ලජ්ජසහාගත සිනහවක්ද සමගිනි. "හරි ලෙස්ටර් උස්සමු, එකයි, දෙකයි...ලෙස්ටර්! ලෙස්ටර්!"

ඔහු ඉදිරියට පනින විට ප්‍රමාද වැඩිය. ලෙස්ටර් සිය  මුහුණ සිය අත් දෙක මත හොවාගෙන මුනින්තලා අතට බිම වැතිරී සිටියි. මිගෙල් ඔහුව නැගිටුවීමට කෙතරම් උත්සහා කලද ඵලක් නොවිය.

"මිනිහත් නිදි" ඔහු ගොත ගැසුවේය.

බාන්ස් ඉටිපන්දම අතට ගෙන ඉදිරියට නැමී නිදන උන් දෙස බලාගෙන සිටින විට  ඉටිපන්දමෙන් වැක්කෙරෙන ඉටි පොලොව පුරා ගලා ගියේය.

බාන්ස් ඉටිපන්දම අතට ගෙන ඉදිරියට නැමී නිදන උන් දෙස බලා සිටියේය


"අපි මෙතනින් පැනගන්න ඕන" මිගෙල් කිවේය. "ඉක්මන් කරපන්"

"මෙයාලව මෙහෙම දාලා අපිට යන්න බැහැ..."බාන්ස් පැකිලෙමින් කිවේය.

"අපිට යන්න වෙනවා" මිගෙල් ඉතා කර්කශ ලෙසින් පැවසුවේය. "උඹ නින්දට වැටුනොත් මම යනවා..ඉක්මන් කරලා වරෙන්" ඔහු බාන්ස්ගේ අතින් ඇද ඔහුව දොර වෙත ඇදගෙන ගියේය. බාන්ස් ඔහුගේ අත ගසා දමා, ගිණි උදුනේ කණ්ඩිය මත නැවත ඉටිපන්දම ගැසුවේය. ඉන්පසු නිදාසිටි දෙදෙනාව ඇහැරවීමට උත්සහ කළේය.

"වැඩක් නැහැ" අවසානයේදී ඔහු උත්සාහය අතහරිමින් මිගෙල් දෙසට හැරී කිවේය. "උඹත් නින්දට වැටෙන්න එපා හරිද?"

මිගෙල් ඔලුව දෙපසට වැනුවේය. ඔවුන් දෙදෙනා නිහඬව මොහොතක් බලා සිටියේය. "මම දොර වහන්නම්" අවසානයේ බාන්ස් කිවේය.

ඔහු දොර වෙත ගොස් එය සෙමින් අඩවල් කළේය. ඔහුට පිටුපසින් කහින හඬක් සුනෙන් පිටිපස බැලූ විට ඔහු දුටුවේ ලිප්ගලක් උඩ ඔහේ වාඩි වී සිටි මිගේල්වය. ඔහු වැරෙන් හුස්මක් අල්ලාගෙන නොසෙල්වී සිටියේය. කාමරය තුල ඇති ඉටිපන්දම් එලිය සුළගේ නලියමින් තිබූ බැවින් නිදාසිටියවුන් හාස්‍යජනක ලෙස පෙන්නුම් කළේය. කාමරයෙන් පිටත වූ පරිසරය පිළිබඳව විවිධාකාර දේ මනස පුරා විහිදී තිබිමෙන්දෝ ඔහුට අමුතු මහන්සියක් දැනුනේය. ඔහු උරුහන් බෑමට දෙතොල් ලං කලත් ඒවා කරවල මෙන් වේලි තිබුණි. ඉන්පසු බිම පුරා ඉහිරී තිබූ කාඩ්පත් ඇහිඳීමට පටන් ගත්තේය.

ඔහු බිමට නැමී කාඩ්පත් අහුලන අතරතුරේදී දෙතුන් සැරයක්ම සිටි ඉරියව්වෙන් හිඳ සවන්දීගෙන සිටියේය. පිටත තරප්පු පෙළ දෙසින් කිරි කිරි ගාන හඬක් ආවේ යම් කිසිවෙකු කලබලෙන් ඇවිදින ලෙසිනි.

"කව්ද ඔය?" ඔහු සද්ද නගා ඇසුවේය.

ක්‍රමයෙන් හඬ මැකී ගියේය. ඔහු දොර වෙත ගොස් එය වේගයෙන් හැර කොරිඩෝවට පිවිසුණේය. ඔහුට හැඟුනේ තමාව වෙලාගෙන සිටි බිය පහව ගියාක් සේය.

"වරෙන් ඉතින්!" ඔහු කෑගැසුවේ කෙටි සිනහවක්ද සමගින්ය. "උඹලා ඔක්කොම! ඔක්කොම! පෙන්නපල්ලා තොපිලගේ මුණවල්! තොපිලගේ ජරා මුණවල්! හැංගෙන්න එපා යකෝ!"

ඔහු නැවතත් සිනහා වී  කාමරය තුලට ගියේය. ගිණි උඳුන අසලට ගිය ඔහු අත් දෙක හිණෙහි තබා ගෙන නොසන්සුන් ලෙස හිටගෙන සිටියේය. ඔහුගේ කෑගැසීමට පිළිතුරු වශයෙන් නැවතත් අත්භූත අඩිහඬවල් පිටතින් ඇසෙන්නට පටන් ගත්තේය. ඒවායේ හඬ ක්‍රමයෙන් වැඩි වී ලඟට විට නෑසී ගියෙන් මිගෙල් තරමක් සන්සුන් විය.

"නියමයි ලෙස්ටර්, අපි මිනිහව පිස්සු වැට්ටුවා" භීතිය පිරි ස්වරයෙන් ඔහු මිමිණුවේය. "අපි මිනිහගේ පස්සෙන් යන්න ඕන"

ඊට කිසිදු ප්‍රතිචාරයක් නොවූයෙන් ඔහු දෙපයින් සිට ගත්තේය.

"උඹලට ඇහෙනවද? ඔහු ගිරිය යටින් කෑගැසුවේය. "මාව මෝඩයෙක් කරන්න හදන්න එපා. මේක හුඟක් බරපතලයි. වයිට්! ලෙස්ටර්! උඹලට ඇහෙනවද?"

ඔහු මදක් ඉදිරියට බර වී කේන්තිය පිරිණු දෑසින් ඔවුන් දෙස බලා සිටියේය. "එහෙමද?" ගැහෙන ස්වරයෙන් ඔහු කිවේය. "උඹලා දන්නවද? උඹලට බැහැ මාව බය කරන්න."

ඔහු ආපසු හැරී ඔහේ දොර දෙසට පිය නැගුවේය. ඉන්පසු එලියට ගොස් හොරෙන් නිදාසිටින්නවුන් දෙස බලා සිටියද ඔවුන්ගේ කිසිදු චලිතයක් දක්නට නොලැබුනේය. තමාට පිටුපසින් පැතිර තිබූ ඝන අන්ධකාරය දෙස මදක් බලා සිටි ඔහු නැවත කාමරය තුලට ගෑටුවේය.

බිම වැතිර සිටින්නවුන් දෙස තත්පර කිහිපයක් ඔහු බලා සිටියේය. කාමරය පුරා විසිරි තිබූ නිශ්චලතාවය බිහිසුණු විය. හදිසියේ පැන නැගුන සිතුවිල්ලකින්, මිගෙල් කණ්ඩියේ ගසා තිබූ ඉටිපන්දම ගලවා ගෙන වයිට්ගේ ඇඟිල්ලකට ගිනි දැල්ල අල්ලාගෙන සිටියේය. අන්තිමේදී ඔහු තෝන්තුවාවෙන් මෙන් වැඩේ අත්හැරදමනවාත් සමගම අඩි ශබ්දය ඇසෙන්නට පටන් ගත්තේය.

ඔහු ගැහෙන අතින් ඉටිපන්දමද ගෙන ඒවාට සවන් දීගෙන සිටියේය. ඒවා ක්‍රමයෙන් පඩිපෙළ ඉහලට ඇදී එද්දී ඔහු දොර දෙසට පිය මැන්නේය. එවිට ඒවා නෑසී ගියේය.

ඔහු පිටත ගරාදි වැට ළඟ සිට හොඳින් කන් දීගෙන ඉදිරියෙන් වූ ඝන අන්ධකාරය දෙස බලාගෙන සිටියේය. ඉන්පසු සෙමින් සෙමින් අඩි තබමින් පහල තට්ටුව දෙසට පිය මැන්නේ ඉටිපන්දම ඉහලට කර අල්ලාගෙනය.

"බාන්ස්! උඹ කොහෙද?"

බියෙන් ගැහෙමින් පහත මාලයේ වූ පැසේජය හරහා සෙමින් සෙමින් ඔහු ගමන් කළේය. ඉතිරි වී තිබූ අන්තිම ධෛර්ය පොදත් එක්තැන් කරගෙන, වසා තිබූ දොරවල් හැර කාමර තුලට එබී බලමින් ඔහු ඉදිරියටම ගමන් කළේයඅවසානයේ ඔහු කඩතොලු  වූ බිත්ති සහ කැඩී ගිය පොළොවෙන් හෙබි හිස් කුස්සිය වෙත පැමිණ තිබුණිඔහු ඉදිරියෙන් තිබූ ඇතුල් කාමරයක දොරක් ඉබේම වැසී ගියේය. ඔහු වෙත ගොස් වේගයෙන් දොර හැරියේය. හැමූ සිත සුළඟින් ඉටිපන්දම නිවී ගියේය. ඔහු ගල් ගැසුණාක් මෙන් හුන් තැනටම වී සිටියේය.

අවසානයේ ඔහු කඩතොලු  වූ බිත්ති සහ කැඩී ගිය පොළොවෙන් හෙබි හිස් කුස්සිය වෙත පැමිණ තිබුණි.

"බාන්ස්..බය වෙන්න එපා බං..මේ..මම මිගෙල්" ඔහු කෑගැසුවේය.

ඊට කිසිදු ප්‍රතිචාරයක් නොවිය. ඔහු කලුවරේම ඔහේ බලාසිටියේය. තමාට අතේ දුරින් කිසිවෙකු ඇති බව නිතරම ඔහුට දැනුනේය. එක්වරම ඔහුට ඉදිරියෙන් නැවතත් අඩි සද්දය ඇසෙන්නට පටන් ගත්තේය. ඔහු ආපසු හැරුනේය. කුස්සිය පසු කරමින් සිටි ඔහු තමා පහු කරගෙන පටු පැසේජය සොයා ගැනීමට වෙහෙසුණි. මේ වන විට ඔහුගේ ඇස් අඳුරට මදක් හුරුව තිබුණි. අවසානයේ කෙසේ හෝ තරප්පු පෙළ පාමුලට පැමිණීමට ඔහු සමත් වුණි. ඉන්පසු හඬ නොනගින අයුරින් තරප්පු පෙළ නැගීමට ඔහු පටන් ගත්තේය. ඉහල මාලයට අඩිය තියනවාත් සමගම, කිසියම් ඡායාවක් බිත්තියකට මුවා වී යනු ඔහු දුටුවේය. සද්දයක් නොනගින ලෙස අඩි තබමින් ඔහු පිටුපස හඹා යන්නට විය. මෙසේ ඔහු ඉහලම මාලය වෙත පිවිසුණේය. අවසානයේ කුඩා පැසේජයකින් ඔහුගේ ගමන කෙලවර විය.

"බාන්ස්!...බාන්ස්!" ඔහු සෙමෙන් මිමුනුවේය.

කළුවර අතරින් කුමක්දෝ සෙලවෙනු ඔහු දුටුවේය. පැසේජය කෙලවරේ තිබූ ගෝලාකාර ජනේල් කවුළුව නිසා කළුවර මදක් බාල වුයෙන් තමා ඉදිරියේ නොසෙල්වී සිටගෙන සිටි රුපයේ හැඩය යන්තමින් ඔහුට දිස් වුයේය. මිගෙල් සුදානම් ශරිරයෙන් බලාසිටින අතරතුර බියජනක සිතුවිලි වලින් ඔහුව වෙලා ගත්තේය. ඉදිරියේ වූ රුපය දෙස ඇස් නොපියා බලා සිටින තුර ඔහු සෙමෙන් සෙමෙන් ආපස්සට හැරුනේය. එවිටම එම රූපකාය ඔහුවෙත ක්‍රමයෙන් ලං වෙන්නට පටන් ගත්තේය. මිගේල්ට දෙවියන් සිහි වී කෑ ගැසුනේය.

"බාන්ස්! දෙයියන්ගේ නාමෙන් උඹ නේද?"

ඔහුගේ වෙව්ලන කටහඬ දෝංකාර දුන්නේය. නමුත් ඔහු වෙත ලඟාවෙමින් තිබූ රූපයට එය ඇසුනාක් මෙන් නොපෙනුණි. ඔහු ධෛර්ය උපදවාගෙන ඉදිරියෙන් තමා වෙත ලං වෙමින් තිබූ දෙයට මුහුණ දීමට සිතා ගත්තේය. නමුත් එය ඉතා ආසන්න වෙත්ම ඔහු කෑ ගසාගෙන ආපසු හැරී දුවන්නට විය.

කුඩා පැසේජයන් ඔහුට පෙනුනේ වංකගිරි මෙන්ය. ඔහු අන්ධයෙක් මෙන් මේ අත දුව ගියේ පඩිපෙළ සොයාගැනීමටයි. ඉන්පසු පහලට ගොස් ප්‍රධාන දොර වෙත දුව ගැනීමටයි.

ඔහු මදක්  නැවතී ඉකි ගසමින් හුස්ම අල්ලාගැනීමට උත්සහ කළේය. එවිට නැවතත් ඔහු පසුපසින් අඩිහඬ ඇසෙන්නට පටන් ගත්තේය. බිමට ලී අතුරා තිබූ පැසේජ මත බර අඩි තබමින් කාමර වලට ඇතුළු වෙමින් නැවතත් එලියට පැමිණ එහෙමෙහෙ ඇවිදිමින් තමාව හොයන හඬට මිගෙල් නොසෙල්වී කන් දීගෙන සිටියේය. එම හඬ තමා සිටි පෙදෙසට ලඟා වෙන විට ඔහු අසල තිබූ කාමරයක් තුලට ගොස් සෙමෙන් දොර වසා ඊට පිට දී නොසෙල් වී බලා සිටියේය. අඩිහඬ තමා සිටි කාමරය පසුකර යනු ඔහුට ඇසුණේය. ඊට මොහොතකට පසු හෙමින් අඩි තබමන් එලියට පැමිණ ප්‍රතිවිරුද්ධ දෙසට දිව්වේයනමුත් මොහොතකින් නැවතත් එම අඩිහඬ ඔහු පසුපස හඹා එන්නට පටන් ගත්තේය. අවසානයේ ඔහුට දිග කොරිඩෝව සම්භ විය. එහි අවසානයේ තිබූ සුපුරුදු පඩිපෙළ වෙත ඔහු වේගයෙන් දිවීමට පටන් ගත්තේය. අඩි හඬද ඔහු අසලින්ම ඇසෙයි. එබැවින් ඔහු දිව්වේ ඉදිරියට බර වෙමින්ය. පඩිපෙළ වෙත ඔන්න මෙන්න කියා තිබියදී පසුපසින් පැමිණි රූපය තමාව අල්ලාගනිවීයි බියෙන් ඔහු මදක් පැත්තකට විය. ඔහුට දැනුනේ අඳුරේම තමාව මුනින් අතට පෙරලී ගියාක් මෙන්ය.

****     ****     ****     ****     ****


පසුදා උදෑසන හිරු එලිය පැතිරී යත්ම, ලෙස්ටර් සිය දෙනෙත් විවර කළේය. තම ඇඟිල්ලක තිබූ විශාල දිය පට්ටය ඇති  වුණේ කෙසේදැයි වික්ෂිප්තව පසෙකින් සිටි වයිට්ව ඔහු දුටුවේය.

"අනෙක් උන් කොහෙද?" ලෙස්ටර් ඇසුවේය.

"මම හිතන්නේ යන්න ඇති" වයිට් කිවේය. "අපිට නින්ද යන්න ඇති"

ලෙස්ටර් නැගිට ඇඟේ හිරිමැලි කඩා දමා ඇඳුම්වල ගෑවී තිබූ දුවිලි පිස දැමුවේය. ඉන් අනතුරුව කොරිඩෝව වෙත ගියේය. වයිට්ද ඔහු පසුපසින් ඇදුනේය. ඔවුන් පැමිණෙන හඬින් කොරිඩෝව කෙලවර වැතිර සිටි යමෙක් ඇහැරී නැගිට සිටියේය. බාන්ස් බව ඔවුන් අඳුර ගත්තෝය.

"මම කොහොමද මෙතන නිදා ගත්තේ" ඔහු පුදුම වෙමින් කිවේය. "කොහොමද මම මෙතනට ආවේ? මම මෙතනට ආවා කියලා කිසිම මතකයක් නැහැනේ"

"මෙතන නිදා ගන්න කියාපු තැන" ලෙස්ටර් තියුණු හඬකින් පවසන අතර අසල තිබූ ගරාදි වැටේ කොටසක් කැඩී ගිය හිඩැස පෙන්වූයේය. "අර බලපන්, උඹ අඩියක් දෙකක් එහෙට මෙහෙට වුනානම් කොහෙද ඉන්නේ කියලා?"


බාන්ස් නොසැලකිල්ලෙන් අයිනට ගොස් පහල බැලුවේය. ඔහු කෑ ගසමින් මදක් පිටිපස්සට පැන්නේය. පුදුම වූ අනෙක් දෙදෙනාද එබී බලන විට බිම වැටී තිබූ මල සිරුරක් දක්නට ලැබුණි.

අනෙක් දෙදෙනාද එබී බලන විට බිම වැටී තිබූ මල සිරුරක් දක්නට ලැබුණි.

සමාප්තයි.


ඩබ්. ඩබ්. ජේකබ්ස් විසින් 1909 දී ප්‍රකාශ කරන ලද "The Toll House" කෙටිකතාවේ පරිවර්තනයකි. පොඩ්ඩේ කොලුවා විසින් මූලික කතාවට හානියක් නොවන පරිදි පොඩ්ඩක් ලුණු ඇඹුල් යොදා සිංහලෙන් තෙම්පරාදු කර පරිවර්තනය කරන ලදී.



1 comment :

  1. අයියෝ මිගෙල් මැරුණනෙ. බය හිතෙන හොද කතාවක්... සුබ පතනවා

    ReplyDelete

ඕන දෙයක් කුරුටු ගාලා යන්න, ඩස්ටර් එක මගේ අතේ තියෙන්නේ :-)