Thursday, January 8, 2015

පණපිටින් වළලන ලද සත්‍ය කතාවක පළමු කොටස

“උන්ට ඩොලර් 75,000 ක් නුදුන්නොත් උන් මාව මරාදාවි. උන්ට ඕන ගණුදෙනුවක් කරන්න”

“ටකස්” යනුවෙන් ශබ්දයක් ඇසුණු අතර ඉන්පසු ඇසුණේ දුරකථනය විසන්ධි වීම හඟවන නාදයයි. එම නාදය, ශෝචනීය සිදුවීමක මුලාරම්භය බව වැටහුනේ බෙබ්කෝ’ සමූහ ව්‍යාපාරයේ සමාරම්භක සහ සභාපති බෙනී බෝකොම් හටය. බෙබ්කෝ සමූහ ව්‍යාපාරය විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රයේ නියැලෙන අතර ටෙක්සාස් ප්‍රාන්තයේ ‘ලා මාර්ක්’ හි පිහිටා ඇත. ඉහත කී දුරකථන ඇමතුම පැමිණියේ බෙනීගේ කාර්යාලයේ පිහිටි දුරකථනයටයි. ඒ එක්දහස් නමසිය අසු දෙකේ සැප්තැම්බර් මස විසි දෙවෙනිදායි. එදින බදාදා දිනයක් විය.දුරකථනය ඔස්සේ මලානිකව ඇදී ආ ස්වරය ඔහුගේ විසිඑක් හැවිරිදි පුතු මයිකල්ගේ විය.එම හඬ පටිගත කරන ලද්දක් බව බෙනී හට තේරුණි. මයිකල් හට කතා කිරීමට හැකි වි තිබුණේ වචනයක් දෙකක් පමණි. ඉන්පසු ඇසුණේ ඇඟ සිතල කරවන අවසන් වාක්‍යයයි. “උන්ට ඕන ගණුදෙනුවක් කරන්න”.

තමාගේ පුතාව පැහැරගෙන ගොස් ඇති බව වැටහීමෙන් සිතට නැගුණු සන්ත්‍රාසය සමග ගැටෙන්නට බෙනී හට සිදු විය. ඔහු තම කාර්යාල කාමරයෙන් එලියට ගොස් තමාට දැන් කතා කල පුද්ගලයා හඳුනන්නේදැයි ඇසුවේ තම ලේකම්වරිය සහ දියණිය වන ෂෙරීගෙනි. ඇය පැවසුවේ කවුදෝ පිරිමි පුද්ගලයෙක් කතා කල බවයි. ඉන්පසු බෙනී සිය සමාගමේ නිලධාරින් කිහිප දෙනෙකුට කතා කොට පැවැසුයේ තම පුතාව පැහැරගෙන ඇති බවයි. එමෙන්ම මේ පිළිබඳව කිසිවක් හඟවන්නේ නැති අයුරින් හැසිරිය යුතු යැයි තවදුරටත් පැවසුවේය.

මයිකල්ගේ මවට මේ සිද්ධිය පැවසීමට සිය නිවෙස වෙත යන අතරතුරේ, බෙනීගේ මනසේ සුළි කුණාටුවක් කැරකෙමින් තිබූ අතර එහි මූලයේ සිටියේ ‘රොනල්ඩ් ෆ්ලොයිඩ් වයිට්’ නමැති සිය සමාගමේ විකුණුම් නියෝජිතයෙකු ලෙස සේවය කල අයෙකි. පසුගිය වසන්ත සමයේ ඔහු සිය රැකියාවෙන් අස්ව ගියේය. මේ පුද්ගලයා එක්තරා තක්කඩියෙක් බව බෙනීට හැඟී තිබුණේය. මෙම හැඟීම තීව්ර කරනුයේ රොනල්ඩ් තුවක්කු වලට දැක් වූ ගිජු කමත් තමාව කුලී භටයෙකු ලෙස අමතනවාට ඇති කැමැත්තත් හේතුවෙනි.

එකවරම මෙසේ විසීරී තිබූ සිතුවිලි එක් වී පැහැදිලි පින්තුරයක් බෙනීගේ සිතේ මැව්නේය. බෙනිට ප්‍රහේලිකාවක් වී තිබුණේ ඩොලර් 75,000 කප්පම් මුදලයි. ඇයි උන් හරියටම මේ ගානම ඉල්ලුවේ? ඇයි උන් මේ වගේ තුන් ගුණයක් ඉල්ලුවේ නැත්තේ? මිට මාස කිහිපයකට උඩදී ඩොලර් 80,000 කට සිය දේපලක් විකිණූ බව ඔහුට මතක් විය. ඒ පිළිබඳව රොනල්ඩ් දැනගෙන සිටි අතර තම පෙර සේවායෝජකයා සතුව එම මුදල් සුරැකිව තිබූ බවද දැන සිටියේය. තම පුත්‍රයා පැහැරගෙන ඇත්තේ රොනල්ඩ් වයිට් බවට බෙනීට දැන් කිසිදු සැකයක් නැත්තේය.

පෙරදින රාත්‍රී 9.30 ට පමණ මයිකල් බෝකොම් සිටියේ ‘සැන්ටා ෆේ’ හි පිහිටි සිය තනිකඩ නිවසේ රුපවාහිනි යන්ත්‍රය ඉදිරිපිටට වීය. එම නිවාසය පිහිටා තිබුණේ ඔහුගේ පියාට අයත් කර්මාන්තශාලාවේ සිට මයිල හතක දුරින්ය. මේ වෙලාවේ දොරට වැරෙන් පහර තුනක් වැදුණු බැවින් කව්දැයි බැලීමට දොර ඇරිය විට මයිකල් දුටුවේ ඔහු දෙස බලා සිටිනා මැග්නම් .357 තුවක්කු කාණුවකි. පිස්තෝලය අතැතිව සිටි පුද්ගලයා හට දිගු කොණ්ඩයක් තිබුණු අතර ඔහුද සිය වයසේ පසුවන්නෙක් බව මයිකල්ට වැටහිණ. ඔහුට පිටු පසින් සිටි පුද්ගලයා සතුව කාලවර්ණ කෙස් කළඹක් වූ අතර ඔහු අත පතරොම් තුවක්කුවක් විය. ඔවුන් විසින් බලහත්කාරයෙන් මයිකල්ව කුස්සිය දෙසට රැගෙන ගොස් ඔහුගේ දෑත් බැඳ, ඇස් දෙක රෙදි කඩකින් බැඳ කටටද ටේප් පටියක් අලවන ලදී. ඉන්පසු ඔහුව ඔහුගේම වාහනය වෙත රැගෙන ගොස් එහි දමාගෙන යන්නට ගියෝය.

ඡායාරුපය මෙතනින්


ඔවුන් හොව්ස්ටන් හරහා උතුරු දෙසට පැය බාගයක් පමණ ගමන් කොට පිවිසියේ ඝනව වැඩුණු ගස් වලින් හෙබි හුදකලා වූ පෙදෙසක අතහැර දැමු තෙල් පිරිපහදු භුමියකටයි. කප්පම්කරුවන් ටේප් රෙකෝඩරයක් ආධාරයෙන් මයිකල් ලවා වෙන වෙනම පණිවිඩ දෙකක් පටිගත කෙරෙව්වේය. බෙනී හට අසන්නට ලැබුණේ ඉන් පළමු වැන්නයි. ඉන් දෙවැනි පණිවිඩය මෙසේ විය. 

“නැගෙනහිර හොව්ස්ටන්වල ඇති සාන්ත ජසින්ටෝ පිළිමය දිහාට යන්න. ලින්ච්බර්ග් පාලම් පාරුවෙන් එගොඩ වෙලා දහවෙනි උප ප්‍රාන්තේ පැත්තට ඇති පාර දිගේ ගිහින් 'මිනිට් මෑන්' ග්‍රොසරියේ වාහන නැවතුම ළඟ ඇති පොදු දුරකතනය ළඟට වෙලා ඇමතුමක් එනකන් බලාගෙන ඉන්න”

පටිගත කිරීම අවසන් වූ පසු, පෙර කී මිනිසුන් දෙදෙනා මයිකල්ව තෙල් ආකරයේ තිබූ වලක් දෙසට රැගෙන ගියේය. වල පතුලේ දැවයෙන් නිම වූ අඩි 8ක් දිග, අඩි 3ක් පළල සහ අඩි 2ක් උස පෙට්ටියක් විය.

“අපි උඹට දෙනවා පාන් බාගයකුයි වතුර බෝතලයකුයි” එකෙක් කිවේය. “දඟලන්නේ නැතුව ඉඳපන්. ඔක්කොම දේවල් හරියට උනොත් අපි දවස් දෙකකින් උඹව ගන්න එනවා”

උන් දෙදෙනා බලහත්කාරයෙන් මයිකල්ව පෙට්ටිය තුල බහා පියන වසා අඟල් තුන් කාලේ ප්ලාස්ටික් බට කෑලි හතරක් පියන මතින් පෙට්ටියට බැස්සුවේ හුස්ම ගැනීමට හැකි වීම සඳහායි. ඉන්පසු පස් දමා වල වසා දැමුවෝය. අවසන් වශයෙන් කාටවත් සැකයක් ඇති නොවනු පිණිස පරණ ටයර් කීපයක්ද වල මත විසුරුවා දමා ඔවුන් පිටව ගියේය.

ඡායාරුපය මෙතනින්  

තම භාර්යාව ග්ලෙන්ඩෙල් හට අසුභ ආරංචිය පැවසීමෙන් පසු, බෙනී බෝකොම් සැන්ටා ෆේහි පොලිස් ප්‍රධානී 'බ්‍රයන් ලැම්බ්' හට කතාකොට සිද්ධිය පැවසුවේය. විනාඩි දහයකින් පමණ ලැම්බ් නිවසට පැමිණ, බෙනිගෙන් තවදුරටත් ප්‍රශ්ණ කළේය. එහිදී බෙනි, වයිට් කෙරෙහි ඇති තම සැකය පිළිබඳවද ඔහුට හෙළි කළේය. අවසානයේදී බෙනිහට ඔහුගේ කාර්යාලයට ගොස් බලා සිටින ලෙස පවසා ලැම්බ් නැවත පොලිස් ස්ථානයට ගොස් එෆ් බී අයි එකටද දැන්නුවේය.

කාර්යාලයට නැවත යමින් ගමනේ බෙනී සිය පුත්‍රයාගේ ගෙදරට ඔළුව දමා යාමට අමතක නොකළේය. එහිදී අංගනය හිස් බව ඔහු දුටුවේය. කප්පම්කරුවන් සිය පුතාගේ වාහනයෙන්ම ඔහුව පැහැරගෙන ගොස් ඇති බව ඉන් ඔහුට පසක් විය. ඉන්පසු වියරුවෙන් මෙන් කාර්යාලය වෙත ගියේය. නැවත එලියට පැමිණ ක්‍රීඩා භාණ්ඩ විකුණන ස්ථානයක් වෙත ගොස් ගෙදරින් පිටවීමට පෙර කාරයේ පිටුපසට දාගත් මුව දඩයම පිණිස යොදාගන්නා රයිෆලයට උණ්ඩ පෙට්ටි දෙකක් මිලදී ගත්තේය. රයිෆලයට උණ්ඩ පිරවූ පසු බෙනී සිය ප්‍රධාන සැකකරු වන රොන් වයිට්ගේ නිවස පිහිටිදෙසට සිය රථය මෙහෙය වුයේය.

ඔහු පසුව පැවසු පරිදි එහිදී සිය පුතාගේ වාහනය දුටුවේ නම්, එහි සිටි සියලු දෙනාගේම අවසානය එය වෙන්නට තිබු බවක්ය. නමුත් වාහනය එහි නොවීය. එබැවින් නිවස දෙස ඇස ගසාගෙන සිටීමට ඔහු තීරණය කළේය. නමුත් කිසිවෙකු පැමිණියේ නැත. අවසානයේදී ඔහු හවස 5ට පමණ ළඟ තිබු කඩයකට ගොස් සිය කාර්යාලයට ඇමතුමක් දුන්නේය. එහිදී ඔහුව එෆ් බී අයි නියෝජිතයෙකු හා සම්බන්ධ කල අතර ඔහු ඉතා තැන්පත් අයෙක් විය. බෙනී හටඅදාළ ස්ථානයේම සිටින ලෙස කී නියෝජිත තැන ඔහුව ගෙදරට ඇරලවීමට නිලධාරින් පිරිසක් යැවීමට කටයුතු කළේය. ප්‍රාදේශීය පොලිස් ස්ථානයත් සමග කතා කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු එෆ් බී අයි වෙත පවරාගන්නා ලදී. බෝකොම් නිවසේ නිලධාරින් කිහිපදෙනෙකු රඳවා තැබූ අතර කර්මාන්තශාලාවේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් ස්ථාපනය කරන ලදී.

සැතපුම් 80 ක් පමණ උතුරු දෙස පිහිටි හුදකලා වූ භූමියක වැළලු ලී පෙට්ටිය තුලට වී මයිකල් ඔහේ වැතිරී සිටියේය. කෙසේ හෝ අඩි දෙකක් උස පෙට්ටියේ මුනින් අතට හැරීමට ඔහු සමත් වුයේය. දැන් ඔහු වැතිරී සිටින්නේ සිය උදරය ආධාරයෙනි. මෙම ඉරියව්වෙන් සිටීමේදී, පෙට්ටියේ පියන ළඟ ඇති පිරිද්දුමක වූ පටු විවරයක් ඔහුගේ ඇස ගැටුණි. ඔහු එය අතින් ඇද්ද කල විවරය තව විශාල විය. ඔහු සිය දෑත පෙට්ටිය පතුලට තබා සිය පිටින් පියන ඉහලට එසවීමට වැර දුන්නේය. එවිට පියන පෙට්ටියෙන් නිදහස් වූ නමුත් පිටත වූ පස්වල බරට එය ඇතුලට කඩා වැටෙන්නට ආසන්න විය. පෙට්ටිය තුලින් ලී කැබැල්ලක් කඩාගෙන එය හරහට සිටුවා වෙන්නට ගිය විපත්තියෙන් ගැලවීමට මයිකල්ට හැකිවිය. නමුත් පෙට්ටියේ පියනත් පතුලත් අතර පරතරය අඩුවූ බැවින් මුහුණ පතුලේ හොවා වැතිරී සිටීමට ඔහුට දැන් සිදුවී ඇත්තේය.

පසුදින උදෑසන; එනම් බ්‍රහස්පතින්දා 4.30 ට පමණ බෝකොම් නිවසේ දුරකථනය නාදවන්නට වුනි. දුරකථනය ඇමතු බෙනී හට සිය පුතුගේ පටිගත කල පෙර කී සුපුරුදු හඬ පටය ඇසුණේය. මෙවර ඔහුට යක්ෂයා ආරුඪ විය. "කියපන් උඹට කොහොමද සල්ලි ටික දෙන්නේ කියලා" ඔහු ගිගුරුවේය. හඬ පටය අවසානයේ කවුදෝ මිනිසෙකු අනෙක් පසින් කතා කරන්නට විය. "උඹට දවස් දෙකක් දෙන්නම් සල්ලි ලැස්ති කරගන්න". ඉන්පසු ඇසුනේ “ටකස්”' හඬින් දුරකථනය විසන්ධි කල හඬයි. මෙම සංවාදය තත්පර 25 ක් පමණ සුළු කාලයක් පැවති හෙයින් එෆ් බී අයි නිලධාරීන්ට ඇමතුම පැමිණි ස්ථානය තහවුරු කර ගැනීමට නොහැකි විය.

බෙනී සිය කාර්යාලයට ගොස් සුපුරුදු පරිදි වැඩ කිරීමට උත්සහ ගත්තේය. සාමාන්‍ය පරිදි විකුනුම්කරුවන්ගෙන් සහ ඉංජිනේරුවන්ගෙන් ඔහුට ඇමතුම් ගලා ආවෝය. නමුත් ඔහු බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම පැමිණියේ නොමැති බැවින් නොඉවසිලිමත් විය.. සන්ධ්‍යාවේ ඔහු නිලධාරින් සමග ගොස් කප්පම් ගෙවීම සඳහා මුදල් රැගෙන ආවේය. ඔවුන් ඩොලර් 5,000 ක් ඩොලර් 10 නෝට්ටු වලින් ගෙන, ඒවා හොර නෝට්ටු සමග කලවම් කර කප්පම් මුදල සැකසුවේය. ඇසුරුම අභ්‍යන්තරයේ ඉලෙක්ට්‍රොනික් ස්ථාන මාපකයක් ද සවි කරන ලදී.

අන්තිමේදී සිකුරාදා සවස බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම බෝකොම් නිවසේ දුරකතනයට පැමිණුනි. නාඳුනන  හඬකින් පැවසුවේ බෙනිට සිය කාර්යාලයට වී වැඩිදුර උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින ලෙසයි. රැක සිට පහර දීමට කර්මාන්තශාලාව කදිම ස්ථානයක් වූ බැවින්, පෙර සුදානම් කඩිනම් විය.

නිලධාරින් දෙදෙනෙක් බෙනීගේ ශරීර ආරක්ෂකයන් ලෙස රඟ පෑමට සුදානම් වී ඔහුට වෙඩි නොවදින ජැකට්ටුවක් අන්දවා එහි පොකට්ටුවට ටේප් රෙකෝඩරයක් දැම්මේය. ඔහුගේ කමිස සාක්කුවේ රේඩියෝ ට්‍රාන්ස්මිටරයක් ද සවි කරන ලදී. බෙනී ඔවුන්ගේ දසුනින් බැහැර වුවහොත් එමගින් ඔවුන්  අමතන ලෙස ඔහුට උපදෙස් ලබා දුනි.

මතු සම්බන්ධයි........  

(රිඩර්ස් ඩයිජස්ට් ඇසුරෙනි)

පසුවදන

පළමු ලිපියෙන් පස්සේ මොනවද ලියන්නේ කියලා හිත හිත ඉන්නකොට, අහම්බෙන් වගේ මේ කතාව රිඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තියෙනවා දැක්කා. ඕන එකක් වෙන්න කියලා පරිවර්තනය කරන්න පටන් ගත්තා. ඒත් හිතුවට වඩා  කල් ගත වුණේ, රස්සාවේ වැඩ වැඩි වුන  නිසයි. ඒක නිසා කතාවට ලුණු ඇඹුල් චුට්ටක් දාලා රස කරලා ගන්නනත් බැරි වුනා. ඊළඟ කොටසත් ඉතා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කතාව කියවාගෙන යද්දී මගේ මතකයට නැගුනේ මීට සමාන සත්‍ය කතාවක් අලලා නිර්මාණය කල බයිස්කෝප් එකක් ගැනයි. කැමති නම් ඒ පිලිබඳ විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්. 

එහෙනම් යාලුවනේ ජය වේවා !




4 comments :

  1. අද තමයි මේ පැත්තේ ආවේ. දිගටම ලියන්න. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහෝ.. දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා. ඔබටත් ජයෙන් ජයම වේවා !!!

      Delete

ඕන දෙයක් කුරුටු ගාලා යන්න, ඩස්ටර් එක මගේ අතේ තියෙන්නේ :-)