Sunday, January 18, 2015

ඔපීසියේ රස කතාවක්

අද මම කියන්න යන්නේ අපේ ඔපීසියේ සිද්ධ වෙච්ච රස කතාවක් පිළිබඳවයි. රස කතා සෑහෙන්න තියෙනවා. මතක් වෙන වෙලාවට ලියන්නම් ඒවා. මම වැඩ කරන්නේ දෝහා කටාර් වල කියලා පළමු ලිපියෙන් කිව්වා මතක ඇතිනේ. නොදැන හිටියත් කමක් නැහැ, දැන් දන්නවනේ. ඉතින් මම වැඩ කරන්නේ අපේ කොම්පැණියේ ගිණුම් දෙපාර්තමේන්තුවෙයි. අපේ දෙපාර්තමේන්තුවේ වැඩ කරන ගොඩක් අය අල්ලපු රටේ එවුන්. ඒ කිව්වේ ගොඩක් එවුන් ඉන්දියන් කාරයෝ තමා. ඒකෙනුත් ගොඩක් එවුන් කේරලකාරයෝ ඒ.කේ.ඒ මලබාරියෝ. මට නම් මේ යක්කුන්ව පෙන්නන්න බෑ. මේ මලබාරි කාරයෝ මැද පෙරදිග රටවල් වල බුරුතු පිටින් බින්න බැහැලා ඉන්නවා කියලා බොහෝ දෙනෙක් දන්නා දෙයක්. නොදකින් විතරක් මේ හැතිකරේ.... මුන් ගැන මතක් වුනාම මගේ ඇඟේ මාළු ගඟේ නටනවා. 

හරි අපි කතාවට එමුකො. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලොක්කත් මලබාරියෙක් තමා. මිනිහනම් මලම මල පෙරේතයෙක්ම තමා. ඔක්කොම කරන්නේ උන්ගේ එවුන්ට තමා. අපිත් එක්ක උඩින් හිනා වෙලා යටින් අපිට අරිනවා. තව ඉන්නවා අපේ වැඩ කටයුතු අධීක්ෂණය කරන්න සුපර්වයිසර් කාරයෙක්. අහන්න දෙයක් නැහැ ඌත් මලබාරියෙක් තමා. ඒ වගේම නොම්මර එකේ කුහකයෙක්. මුගේ මුණ පුරාම රැවුලක් තියෙන නිසා අපි මුට කියන්නේ 'රැවුලා' කියලා. කොටින්ම කිව්වොත් මූත් එක්ක උන්ගේ එවුනුත් වැඩි බජනෙට යන්නේ නැහැ. මොකද ඒ තරම්ම මු හොඳයි. අපේ දෙපාර්තමේන්තුවේ එකම එකයි රැවුලත් එක්ක කදේ දාගෙන ඉන්නේ. අපි මිනිහට කියන්නේ 'රැවුලගේ පුතා' කියලයි. මොකද රැවුලා මිනිහව තමන්ගෙම පුතෙක් වගේ ආරස්සා කොරන නිසයි. 

රැවුලගේ පුතා ටිකක් ඉගෙනගත්තු එකෙක්. ඒත් මිනිහා මාර පණ්ඩිතයි. අනෙක් උන්ට උපදෙස් දෙන්න මාර දස්සයි. ඒත් මිනිහා ඔපීසියේ කරන වැඩක් නම් නැහැ. කොයි වෙලේ බැලුවත් මූණු පොතේ තමයි. නැත්නම් අන්තර්ජාලයේ බඳින්න ගෑණු හොය හොය ඉන්න එක තමා වැඩේ. මලබාරියෝ සල්ලි වලටයි රත්තරන් වලටයි මාර කෑදරකමක් තියෙන්නේ. උන් හොයන්නේ ගෑණු නෙමෙයි උන්ගේ වත්කම් ගැනයි. හරි දැන් රැවුලයි රැවුලගේ පුතා ගැනයි ඔයගොල්ලන්ට දළ අදහසක් තියෙනවා නොවැ. 

අපේ ඩිපාර්ට්මන්ට් එකේ මාත් එක්ක අපේ රටේ කිහිපදෙනෙකුත් වැඩ කරනවා. මේ අතුරින් සැහෙන්න පරණම පුද්ගලයා වන්නේ 'ඩේවිඩ්' අයියයි. (ඇත්තම නම නම් නෙමේ) අඩි හතරාමාරක් පමණ උස ඇති එමෙන්ම තඩි බද ගෙඩියක් ඇති මනුස්සයෙක් තමා මේ ඩේවිඩ් අයියා. අපි අයියා කිව්වට ජිවිතයේ හාෆ් සෙන්චරියටත් ඔන්න මෙන්න කියා ඉන්න පොරක් තමා මෙයා. ඩේවිඩ් අයියා ජොලියේ ඉන්න පොරකි. ඒ වගේම තමා කට. මෙලෝ යකෙකුට මෙයත් එක්ක කට ගහලා දිනන්න නම් බැහැ. මහා හැකර කටක් තියෙන්නේ. සමහර අවස්ථා වලදී කට නිසා අමාරුවේ වැටිලත් තියෙනවා. දෙපැත්ත කැපෙන වචන කියන්න මිනිහා මාර රුසියා. අපේ දෙපාර්තමේන්තුව වගේ තැනක අවුරුදු 10ක් තිස්සේ වැඩ කරන්න නම් ඒ වගේ කටක් අත්‍යාවශ්‍ය බව මගේ හැඟීමයි. 

දෝහා වලට ආගන්තුකයෙක් වූ මා හට ඩේවිඩ් අයියා නොයෙකුත් උපකාර කර ඇත්තේය. ඒ වාගේම මමද ඔහුට හැකි පමණින් යම් යම් උපකාර කර ඇත්තෙමි. ඔහුගේ මහා කුපාඩි වැඩද ඇත්තේය. ඒ ගැන පසු දිනෙක කළු ලෑල්ලේ ලිවීමට අදහස් කරමි. 

හරි, ඔන්න දැන් තමයි කතාවට එන්ටර් වෙන්න හදන්නේ. රැවුලගේ පුතා එච්චර ලොකු වැඩක් කරන්නේ නැති උනත් හැසිරෙන්නේ හරියට ගිණුම් අංශයේ කාර්යබහුලම පුද්ගලයා විදියටයි. මිනිහා ඇවිදින්නේ හරියට මිනිහගේ පස්ස පැත්තේ කඩියෙක් ජිවත් වෙන විදියටයි. එච්චරට ලොකු කලබලයක් තියෙන්නේ; විශේෂයෙන් ලොක්කා කතා කරන අවස්ථාවලදී. රැවුලගේ පුතා අඩි 6 ක් පමණ උස ඉතා දේහදාරී පුද්ගලයෙකි. මිනිහ හරියට අපේ සිංහල රජ කෙනෙක් වගේ. (රූපයෙන් පමණයි හොඳේ) ඉතින් මේ වගේ පුද්ගලයෙක් අර තරම් කලබලයකින් ඇවිදිනකොට නිකමට හරි අපේ ඇඟේ වැදුනොත් අපිට අත්වන ඉරණම හිතා ගන්න පුළුවන් නේද? 

ඉතින් ඔන්න මේ කියන දවස වෙනදා වගේම සාමාන්‍ය දවසක්. උදෙන්ම ඔපිසියට ඇවිත් කට්ටියම වැඩ. ඩේවිඩ් අයියත් ජොලියේ වැඩ. වැඩ කිව්වට ඉතින් උදේ වරුවේ අන්තර්ජාලේ තමා ඉන්නේ. 

"සිතල සඳ එළියේ...
  රෑට xක එළියේ....."

මිනිහගේ බොහෝමයක් සින්දු 18+ ඒවා තමා. අපිට ඉතින් හිනා. 

ඒ අතරවාරයේ ඩේවිඩ් අයියාගේ ඔපීසියේ දුරකථනය නාද වෙයි. 

"හෙලෝ"

"ගුඩ් මොනින්ග්"

"Habibi, I'm busy now, I'll check it. Just give me a call after lunch"

උදෙන්ම තඩි නයෙක් අරියි. අපිට ඉතින් හිත යටින් හිනා. අපේ නිහඬතාවය දුටු ඩේවිඩ් අයියා,

"මේ වේxx පුතාලා උදෙන්ම වද දෙනවා"

"ඩේවිඩ් අයියේ, ඔයාගෙන් අහන්නේ නැතුව උන් වෙන කාගෙන් අහන්නද?" මමත් ඇවිලෙන ගින්නට පිදුරු පොඩ්ඩක් දැමුවෙමි.

"අනේ යන්න පොඩ්ඩේ යන්න"

"කොහේ යන්නද ?"

"කෑ ගහන්න එපා මිනිහෝ"  ඩේවිඩ් අයියාගේ සුපුරුදු ගැලවීමේ වචන පිට වුණි.

මෙහෙම වැඩ යන අතරේ, රැවුලගේ පුතාට ලොක්කා අඬ ගැසුවේය. අහස කඩාපාත් වෙනවා වගේ මිනිහා ලොක්කගේ කාමරේට දිව්වේය. එසේ දිව්වේ ඩේවිඩ් අයියාගේ ඩස්බින් එකද පෙරලාගෙනය. 


කස්ටිය ඔපීසියේ වාඩි වෙලා ඉන්න අන්දම


"මේ හුxx මගේ ඩස්බින් එකම පෙරලනවනේ; කොච්චර කිව්වත් අහන්නේ නැහැ. පුදුම ගායක් තියෙන්නේ මේකට" යි කියමින් ඩේවිඩ් අයියා අමාරුවෙන් ඩස්බින් එක උස්සා කෙලින් කළේය. අපිට ඉතින් හොඳටම හිනා.

ලොක්කා රැවුලගේ පුතාට කුමක්දෝ වැඩක් පවරා තිබුණි. එබැවින් පොර ආවේ ගියාට වඩා වැඩි වේගයකිනි. ලොක්කට එක දමා ගන්නට මුන්ට ඇත්තේ පුදුම ගායකි. ඩේවිඩ් අයියාගේ මේසය සහ ගොබ්බයාගේ (වෙනමම ලිපියක්  ලිවීමට තරම් මිනිහගේ ගොබ්බ වැඩ තිබේ) මේසය අතර ඇත්තේ තරමක් පටු ඉඩ තීරයක් බැවින් රැවුලගේ පුතාව ඩේවිඩ් අයියාගේ මේසයේ වැදුනි. මොනිටරය වැටෙන්නට නොදී බේරා ගත්තේ අනු නවයෙනි. මෙවර ඩේවිඩ් අයියාට මල පැන්නේය.

"Habibi, what's the hurry? When you were going, you kicked my dustbin, now coming back, tried to fall my monitor"

"Sorry....Sorry.." රැවුලගේ පුතා හිනා වේවි උත්තර දුන්නේය.

"මේ යකාට කොච්චර කිව්වත් වැඩක් නැහැ. දවසක මූ මගේ මොනිටර් එක බිම දානවා" ඩේවිඩ් අයියා අප වෙත හැරී කිවේය. 

ඉන්පසු හවස් යාමයේ, රැවුලගේ පුතා කුමක්දෝ වවුචරයක් රැගෙන ඩේවිඩ් අයියා දෙසට යනවා මම දුටුවෙමි. එය ඔහු විසින් පරික්ෂා කරන ලද එකක් විය යුතුයි. 

"මේ බලන්න ඩේවිඩ් මේ වවුචරය පොඩ්ඩක්. ඇයි මේක ඇප්රුව් කලේ? මේ බැර කරලා තියෙන ගිණුම වැරදියිනේ" රැවුලගේ පුතා කඩ්ඩෙන් ඇසුවේය.




ඩේවිඩ් අයියා ලේසියෙන් වැරද්දක් පිළිගන්නා පොරක් නෙමෙයි. ඇරත් මිනිහට රැවුලගේ පුතා එක්ක උදේ ඉඳන් ඇරියස් එකක් තිබුනේය. ඉතින් ඔන්න දැන් වාද විවාද නැගලා යනවා. ඩිපාර්ට්මන්ට් එකේ හැමෝගෙම ඇස් කන් මේ දෙන්නා ළඟ. රැවුලගේ පුතා ද විවිධ න්‍යායන් දමා වැරැද්ද තේරුම් කරන්න හදයි. එන පොට හොඳ නැති බව මට තේරුණි. ඩේවිඩ් අයියාගේ ඇඟේ මාළු ගඟේ නටන්නට පටන් ගෙන ඇත. අන්තිමේදී ප්‍රථිපල පිට වුණි. 

"Habibi....(ඩේවිඩ් අයියාගේ ප්‍රියතම වචනය) You were not in your father's bxxxs, when I started doing jobs. Now you are coming to teach me theories ?"

ඩිපාර්ට්මන්ට් එකේ කට්ටියටම බකස් ගාලා හිනා ගියා. රැවුලගේ පුතා මොනවදෝ මුමුණ මුමුණ ගිහින් පුටුවේ වාඩි වුණා. මොනවා කිව්වත් පොරට වැඩිය තරහා යන්නේ නැත. ඒත් මේ පාර පොඩ්ඩක් තද වුණේය. 

"සැර වැඩි වගේ ඩේවිඩ් අයියේ" මම කීවෙමි. 

"නැහැ පොඩ්ඩේ. මම මේ රස්සා කරන්න පටන් ගන්නකොට මූ මුගේ තාත්තගේ xx දෙකෙත් නැහැ. එනවා මෙතන තියරි උගන්වන්න. දැන් ඉන්නේ ඔය මියා වගේ."

අපි බිම බලාගෙන සිනාසුනෙමු. මන්ද ඩේවිඩ් අයියා දන්නා ලොකු තියරියක් නොමැති බැවිනි. ඒත් රැවුලගේ පුතාගේ කට වැහුව එක නම් ලොකු දෙයකි. 

තවත් ඔපීසියේ කතාවකින් හමු වන තෙක්, ඔබට ජය !











Thursday, January 15, 2015

පණපිටින් වළලන ලද සත්‍ය කතාවක අවසන් කොටස

පළමු කොටස මෙතනින්

නිලධාරින් දෙදෙනෙක් බෙනීගේ ශරීර ආරක්ෂකයන් ලෙස රඟ පෑමට සුදානම් වී ඔහුට වෙඩි නොවදින ජැකට්ටුවක් අන්දවා එහි පොකට්ටුවට ටේප් රෙකෝඩරයක් දැම්මේය. ඔහුගේ කමිස සාක්කුවේ රේඩියෝ ට්‍රාන්ස්මිටරයක් ද සවි කරන ලදී. බෙනී ඔවුන්ගේ දසුනින් බැහැර වුවහොත් එමගින් ඔවුන් ඇමතිය යුතුව තිබුණි.
..
..
..
..
..


ඔවුන් කර්මාන්තශාලාවට ළඟාවූ පසු, එෆ් බී අයි නිලධාරින් ඉක්මනින් ඇතුලට ගොස් විදුලි බල්බ දමා ගොඩනැගිල්ලේ ආරක්ෂාව තහවුරු කළේය. ඉන්පසු බෙනී හට ඇතුලට ඒමට අවසර ලැබුණේය. රාත්‍රී 10.30 ට පමණ දුරකථනය නාද වුනි. බෙනී රිසිවරය ඔසවා කනේ තබාගත් විට අනෙක් පසින් මයිකල්ගේ පටිගත කල දෙවන හඬපටය ඇසෙන්නට පටන්ගත්තේය. එනම් මාර්ග විස්තරය අඩංගු හඬපටයයි. හඬ පටය අවසානයේ බෙනී දොඩන්නට පටන් ගත්තේය

"ඕයි, මට මගේ පුතාට කතා කරන්න ඕන, උඹට ඕන කරන සල්ලි මගේ ළඟ තියෙනවා. කොහෙද මගේ පුතා?" 

බෙනී කතා කරමින් සිටියේ විසන්ධි වූ ඇමතුමකටයි. ඉන්පසු ඇරඹුනේ බෙනීගේ ජිවිතයේ දිගම රාත්‍රියයි. පුද්ගල ආරක්ෂකයින් ලෙස රඟපාන නිලධාරින් දෙදෙනා කාරයේ පිටුපස බිම මත වක ගැසී අයුරින් හිඳුවා ඊට උඩින් නිදන බෑගයක්ද දමා බෙනී විසින් රිය පදවාගෙන පිළිමය අසලට ගියේය. ඉන්පසු පාලම් පාරුවටද ගොඩ වියද්විපාර්ශවික රේඩියෝවක් මගින් කාරය තුල සිටි නිලධාරින් සහ අවට සිටි නිලධාරින් අතර සම්බන්ධතා දිගටම  පවත්වා ගැනුනි. එමෙන්ම මෝටර් බෝට්ටුවක් යොදා ගනිමින් පාලම් පාරුව ලුහු බැන්දේය.

කප්පම් කරුවන්ගෙන් ඇමතුමක් ලැබෙන තුරු සිටීමට කී ග්‍රොසරිය දෙසට ඔවුන් රිය පැදෙව්වේය. රිය නැවතුම අසල දුරකථන කුටි සතරක් විය. සල්ලි මල්ල අතකින් රැගෙන බෙනී කාරයෙන් බැස්සේය. මේ අතර එක් දුරකතනයක් නාද වීමට පටන් ගැනුණි. “මේ බෙනීද ?” දුරකථනය ඇමතු කල අනෙක් පසින් ඇසුණි. 

“I-10 හයිවේ එකට දාගෙන බටහිර පැත්තට ගිහිල්ලා යුවේල්ඩ් විදිය ලඟින් ඇති පිටවීමෙන් දාගෙන එක්සෝන් ස්ටේසමට යන්න. එතන තියෙන ෆෝන් බූත් දෙක ලඟට වෙලා ඉතුරු උපදෙස් කියනකම් ඉන්න”.

බෙනී උපදෙස් පරිදි යුවේල්ඩ් විදියේ ඇති ස්ටේසම අසල වූ දුරකථන කුටි අසල වාහනය නවතා බලා සිටියේය. පැය දෙකකට පමණ පසු, එක් දුරකතනයක් නාද වුණි. මෙවර අනෙක් පසින් ඇසුනේ ගැහැණියකගේ කටහඬකි. 

“ආයෙමත් මිනිට් ග්‍රොසරිය ලඟට ගිහිල්ලා එලිය තියෙන තැනක නවත්තලා වාහනේ ඉස්සරහා පස්ස ඔක්කොම දොරවල් අරින්න. පිටිපස්සේ ඩිකියත් අරින්න. ඉතුරු උපදෙස් ටික කියනකම් බලන් ඉන්න”.

මෙවර බෙනී හට තනිව යාමට සිදු වී ඇත. පාන්දර දෙක පසු වී සුළු මොහොතකට පසු, ග්‍රොසරියට මදක් මෙහායින් නිලධාරින් දෙදෙනාව බස්සවා බෙනී තනිව ග්‍රොසරිය අසල වූ පහන් කණුවක් යට වාහනය නැවත්වුයේය. ඉන්පසු උපදෙස් පරිදි වාහනයේ සියලු දොරවල් හැර දමා බලා සිටින්නට වුණි. අන්තිමේදී පාන්දර පහට පමණ, කිසියම් ඡායාවක සෙලවුමක් වාහන නැවතුම කෙලවරින් මතු වූ බැවින් බෙනී විමසිලිමත් විය. නමුත් ඔහුගේ බලාපොරොත්තු සුන් කරමින් එසේ පැමිණියේ එෆ් බී අයි නිලධාරියෙකි.

“වැඩක් නැහැ, උන් මේ දැන් ඔයාගේ ගෙදරට කතා කරලා කියලා තියෙනවා අද වැඩේ කැන්සල් කියලා” ඔහු බෙනීගේ කනට මිමුණුවේය.




සෙනසුරාදා රාත්‍රියේ, මිනිසුන් දෙදෙනෙක් මයිකල්ව වලලා ඇති ස්ථානය වෙත ගියෝය. ඔහුට හුස්ම ගැනීමට ඇට වූ පයිප්පයක් වෙත ගිය අයෙක් ඔහු අත තිබූ විදුලි පන්දම ඒ තුලට එල්ල කළේය. එවිට මයිකල්ගේ ඉතා දුර්වල කටහඬ ඒ තුලින් ගලා ආවේය. “වතුර ඉවරයි, මට තව වතුර ටිකක් ඕන”. නමුත් උන් දෙදෙනා එතනින් ඉවත්ව ගියෝය.

එෆ් බී අයි හි සියලු උත්සාහයන් ඵල රහිත වෙද්දී, කෙමෙන් කෙමෙන් සියලු බලාපොරොත්තු වියැකෙන්නට පටන් ගත්තේය. සමහර කතාවල ඇති එම සිද්ධියට කිසිසේත් අදාළ නොවන සිද්ධියක් මෙහිදී ද සිදු වෙමින් පැවතිණ. ඉරිදා පාන්දර 12.30 ට පමණ හොව්ස්ටන් වලට මයිල 40 ක් පමණ උතුරට වන්නට පිහිටි මොන්ටෝගමරි ප්‍රාන්තයේ ෂෙරිෆ් වෙත සැක කටයුතු ලෙස  නවතා තිබු වාහනයක් පිලිබඳ පැමිණිල්ලක්  ලැබුනේය. සිද්ධිය විමසීමට නියෝජ්‍ය පොලිස් නිලධාරින් වන 'ජිම් හෝල්' සහ 'ජෝන් ඕර්' පිටත් වුණි.

ඔවුන් එතනට ලඟා වන විට දුටුවේ කළු හිසකෙස් ඇති මනුස්සයෙක් නවතා තිබු පරණ කාරයක් අසල වූ  ජල කරාමයකින් බෝතල් වලට වතුර පුරවන අන්දමයි. ජිම් ඔහුගෙන් ප්‍රශ්න කල විට පැවසුවේ කැලෑවේ ඇති කඳවුරකට වතුර සැපයීමට යන බවයි.  මේ අතරතුර ජෝන් සිය විදුලි පන්දම කාරයේ ඇතුලට එල්ල කරමින් සෝදිසියක නිරත වෙමින් සිටියේය. එක්වරම ඔහු කෑගැසුවේය.

"මේ බලපන් ජිම්, සීට් එක උඩ පිස්තෝලයක් තියෙනවා".

සැණෙකින් ඔහුව අත්අඩංගුවට  ගත්තේය. ඉන්පසු ඔහුගේ මුළු කාරයම සෝදිසි කළේය. පිටුපස අසුනින් පතරොම් තුවක්කුවක්ද ඩිකියෙන් අර්ධ ස්වයංක්‍රිය පිස්තෝලයක්, උණ්ඩ මල්ලක්, ටේප් රෙකෝඩරයක්, ලණු කැරැල්ලක්, වයර් යාර කිහිපයක් සහ 'රොනල්ඩ් ෆ්ලොයිඩ් වයිට්'  නමැත්තෙකුගේ  ගුවන් ගමන් බලපත්‍රය අඩංගු බ්‍රිෆ්කේසයක් සොයා ගැනීමට ඔවුන්ට හැකි  විය. බෝකොම් සිද්ධිය ගැන ඔවුන් කිසිවක් නොදැන සිටි බැවින් ගුවන් බලපත්‍රය ගැන ඔවුන්ට ගානක් නොවිය. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නම 'තිමති කෝනේලි' විය.

කැලාවේ ඇති කඳවුරකට වතුර සපයන්නේ නම්, ඒ සඳහා ගෙවීමට පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට පොරොන්දු වී කාරයට නංවාගෙන තිබේ. නමුත් ඔහු කඳවුරට යන පාර දැන සිටියේ  නැත. මිනිසුන් දෙදෙනා නැවත පැමිණ ඔහුව රැගෙන යාමට  එකඟ වී ඇත. මෙසේ ඔහු  සමග කතා කරමින් සිටින විට කාරයේ ආසන අතර වැටි තිබු කොළ කැබැල්ලක් එක් නිලධාරියෙකුගේ ඇස ගැටුණි. විවිධ මාර්ග විස්තර සහ උපදෙස් එහි අඩංගු විය. එහි එක් වාක්‍යක් මෙසේ පටන් ගෙන තිබුණි. "මයිකල්ව ආයේ පණ පිටින් දකින්නට ඕනේ නම්...........".

ජෝන් සහ ජිම් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ වී 'රොනල්ඩ් ෆ්ලොයිඩ් වයිට්' පිළිබඳව හොඳ හැටි හොයා බලන ලෙස දැන් වුයේය. හැරෙන තැපෑලෙන් ඊට පිළිතුරු ලැබුණි. ඔහුව දැනට විමර්ශනයේ පවතින කප්පම් සිද්ධියකට අදාලාව අවශ්‍ය කර ඇති බව ඉන් කියැවුණි. ඔවුන් දෙදෙනා තිමතිව වාහනයට දා ගන්නවාත් සමගම වාහනයේ රේඩියොවෙන් පණිවිඩයක් පැමිණියේය. එනම් ඔවුන්ගේ සගයන් විසින් කැලැව දෙසින් වූ ගිනිමැලයක  සේයාවක් දැක එම ස්ථානය වෙත යමින් සිටින බවයි. ඔවුන් අදාළ ස්ථානය වෙත යන විට සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

පුද්ගලයින් දෙදෙනෙකු වූ අතර එක් අයෙක් දිගු හිස කෙස් ඇති මුහුණ පුරා රැවුල වැවු අයෙකි. ඔහුගේ නම 'මාර්ක් ඔලේ' නම් විය. අනෙක් අය 'ඩෙබී විලියම්ස්' නමැති තරුණ ගැහැනියක් විය. නමුත් රොනල්ඩ් වයිට් ගැන කිසිදු සලකුණක් නොවිය. ජිම්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ වයිට් එදින සන්ධ්‍යාවේ කඳවුරේ සිටි බවට මාර්ක් පිළිගත්තේය. නමුත් පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාගේ නම ජිම් හරියාකාරව නොදත්තේය. ඔහු දන්නේ කොළ කැබැල්ලේ තිබු මයිකල් යන නම පමණි. ජිම් මේ තොරතුරු ඔලුවේ තබාගෙන මාර්ක් දෙසට හැරුණේය.

"මේ  බලපන් මාර්ක්, අපි දන්නවා උඹලා ළඟ මයිකල් ඉන්නවා කියලා. පේන විදියට රොනල්ඩ් උඹට පොල්ල තියලා පැනලා ගිහිල්ලා වගේ. නමුත් නීතියට අනුව උඹ තමා කප්පම් ගන්න පැහැර ගෙන ගිහිල්ලා තියෙන්නේ. මයිකල්ට මොනවා හරි වුනොත් උඹට තමා මිනීමැරුම් චෝදනා එල්ල වෙන්නේ".

ජිම්ගේ උත්සාහය සාර්ථක වුනේය. මාර්ක් අතහැර දැමු තෙල් කලාපය වෙත පොලිසිය කැඳවාගෙන ගියේය. හිමිදිරි උදයේ ඇති සිතල නොතකමින් ඔවුන් එම පෙදෙස පීරන්නට  ගත්තේය. "මයිකල්......" ජිම් කෑගැසුවේය. ඔහුට ඉතා මලානික කටහඬක්  ඇසුණේය. ඔහු ආයෙමත් කෑගැසුවේය. නැවතත් එම මලානික ස්වරයෙන් පිළිතුරු ලැබුණි. වහ වහා පොලිස් නිලධාරින්  කටහඬ පැමිණියේ යයි සැක කල ස්ථානය හැරීමට පටන් ගත්තෝය. මේ අවස්ථාවේ කිසිදු ආයුධයක් සොයා ගැනීමට වෙලාවක් නැති බැවින් දෑත් භාවිතයෙන් ඔවුන් දිගටම හාරාගෙන ගියෝය. මෙවිට ඔවුන්ට කුඩා විවරයක් හමු වූ අතර ජිම් ඔහුට හැකි පමණින් සිය එක් අතක් ඒ තුලට යැවිය. එකවරම තම අතේ මැණික් කටුව ඉතා දැඩිව තවත් අතකින් ග්‍රහණය කරගත් බව ඔහුට දැනුණි.




උදෑසන 7.30 ට පමණ බෙනී බෝකොම් හට නිවසේ ඉදිරි දොර විවෘත වන හඬ ඇසුණේය. "අපිට මයිකල්ව හම්බු වුණා" පොලිස් ප්‍රධානි ලැම්බ් සිනාමුසු මුහුණින් පැවසුවේය. ඔහු පැමිණි පොලිස් කාරයේම බෙනී සහ ග්ලෙන්ඩෙල්වද දමා ගෙන මොන්ටෝගමරි ප්‍රාන්තයේ උසාවි සංකීර්ණය වෙත ගියේය. එහිදී ඔවුන්ගේ පුතාව පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ සියලු තතු කෙටියෙන් ඔවුනට පවසන ලදී. මයිකල්ගේ බර රාත්තල් 23 කින් අඩු වී තිබු නමුත් කෘමින් සැපිමෙන් ඇති වූ පලු කිහිපයක් සහ විජලනය හැරුණු කොට ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු විය. හොඳට නා ගැනීමෙන් පසුව පොලිසියේ කවර්රෝල් එකක් හැඳ මයිකල් කිසිදු ආධාරයකින් තොරව ඇවිදගෙන ආවේය. පවුලේ උදවිය සමග සුළු සතුටු සාමිචියකින් පසු තමාට සිදු වූ අකරතැබ්බය මයිකල් විසින් පොලිස් නිලධාරීන්ට විස්තර කරන ලදී. ඉන්පසුව මාධ්‍යවේදීන්ටද විස්තර කළේය. පෙට්ටියේ පියන ගැල වී වැටෙන්නට පටන් ගත් විට ඔහුට ඇති වූ හැඟීම නොසැලෙන ස්වරයෙන් ඔහු විස්තර කළේය. හදිස්සියෙන් හරි වැස්සොත් වතුර ගලාගෙන ඇවිත් තමාව යට වී යන බව දැනී ඔහුගේ සියොළඟ කිලිපොලා ගියේය. ඔහුගේ අත් සහ ඇහි බැමි කුඹින්ගේ නිරන්තර ප්‍රහාරයට ලක් වුණි.

දින රෑ ගත වෙද්දී, කුඹින් ඔහුගේ ඇටසැකිල්ල පෑදෙනකම් කන අයුරු සිහි විකාරයෙන් ඔහුට පෙනෙන්නට ගත්තේය. අවසානයේ, කව්දෝ ඔහුට කතා කරන හඬකුත් පොලොව පෙරලිගෙන එන හඬකුත් ඔහුට ඇසුණේය. එවිටම පෙට්ටියේ ඇති විවරය තුලින් අතක් පැමිණ ඔහුගේ ඔලුවේ වැදුණි. එසැනින්ම ඔහු අත වැරෙන් අල්ලාගෙන පහලට ඇද්දේය.

ටික වෙලාවකට පසුව මයිකල් ඔහුව බේරාගත් කණ්ඩායම පැමිණි වාහනයේම අසුන් ගෙන සිටියේය. අවශ්‍ය මොනවාදැයි ඔහුගෙන් ඇසු කල පිළිතුර වුයේ "ශිත කල සෝඩා එකක්" යන්නයි. ඔහුගේ සතුට කෙතරම් ද යත් වාහනය පණ ගැන්වීමට ප්‍රථමයෙන්, වාහනයේ සවි කර තිබූ රේඩියෝ ට්‍රාන්ස්මිටරය අතට ගෙන "මේ මයිකල් බෝකොම් කතා කරන්නේ" යි කිවේය. 

"මට ඕන හැමෝටම ස්තුති කරන්න. ඔයගොල්ලෝ තමා මාව වලෙන් ගොඩ ගත්තේ. බොහොම ස්තුතියි සැමට. මම දැන් නිදහස් ඒ වගේම පණපිටින් ඉන්නවා !"

දින තුනකට පසුව, ටෙක්සාස් ප්‍රාන්තයේ 'රියෝ හොන්ඩෝ' හිදී තියුණු ලුහු බැඳීමකින් පසුව රොනල්ඩ් වයිට්ව කොටු කර ගැනීමට හැකි විය. 'පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම' යටතේ රොනල්ඩ් වයිට්, තිමති කෝනේලි, මාර්ක් ඔලේ සහ ඩෙබී විලියම්ස් වරදකරුවන් බවට පත් වූවෝය.

මයිකල් බෝකොම් පිලිබඳ වර්තමාන විස්තරයක්. (උපුටා ගත්තේ මෙතැනින්)


(රිඩර්ස් ඩයිජස්ට් ඇසුරෙනි)

Thursday, January 8, 2015

පණපිටින් වළලන ලද සත්‍ය කතාවක පළමු කොටස

“උන්ට ඩොලර් 75,000 ක් නුදුන්නොත් උන් මාව මරාදාවි. උන්ට ඕන ගණුදෙනුවක් කරන්න”

“ටකස්” යනුවෙන් ශබ්දයක් ඇසුණු අතර ඉන්පසු ඇසුණේ දුරකථනය විසන්ධි වීම හඟවන නාදයයි. එම නාදය, ශෝචනීය සිදුවීමක මුලාරම්භය බව වැටහුනේ බෙබ්කෝ’ සමූහ ව්‍යාපාරයේ සමාරම්භක සහ සභාපති බෙනී බෝකොම් හටය. බෙබ්කෝ සමූහ ව්‍යාපාරය විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රයේ නියැලෙන අතර ටෙක්සාස් ප්‍රාන්තයේ ‘ලා මාර්ක්’ හි පිහිටා ඇත. ඉහත කී දුරකථන ඇමතුම පැමිණියේ බෙනීගේ කාර්යාලයේ පිහිටි දුරකථනයටයි. ඒ එක්දහස් නමසිය අසු දෙකේ සැප්තැම්බර් මස විසි දෙවෙනිදායි. එදින බදාදා දිනයක් විය.දුරකථනය ඔස්සේ මලානිකව ඇදී ආ ස්වරය ඔහුගේ විසිඑක් හැවිරිදි පුතු මයිකල්ගේ විය.එම හඬ පටිගත කරන ලද්දක් බව බෙනී හට තේරුණි. මයිකල් හට කතා කිරීමට හැකි වි තිබුණේ වචනයක් දෙකක් පමණි. ඉන්පසු ඇසුණේ ඇඟ සිතල කරවන අවසන් වාක්‍යයයි. “උන්ට ඕන ගණුදෙනුවක් කරන්න”.

තමාගේ පුතාව පැහැරගෙන ගොස් ඇති බව වැටහීමෙන් සිතට නැගුණු සන්ත්‍රාසය සමග ගැටෙන්නට බෙනී හට සිදු විය. ඔහු තම කාර්යාල කාමරයෙන් එලියට ගොස් තමාට දැන් කතා කල පුද්ගලයා හඳුනන්නේදැයි ඇසුවේ තම ලේකම්වරිය සහ දියණිය වන ෂෙරීගෙනි. ඇය පැවසුවේ කවුදෝ පිරිමි පුද්ගලයෙක් කතා කල බවයි. ඉන්පසු බෙනී සිය සමාගමේ නිලධාරින් කිහිප දෙනෙකුට කතා කොට පැවැසුයේ තම පුතාව පැහැරගෙන ඇති බවයි. එමෙන්ම මේ පිළිබඳව කිසිවක් හඟවන්නේ නැති අයුරින් හැසිරිය යුතු යැයි තවදුරටත් පැවසුවේය.

මයිකල්ගේ මවට මේ සිද්ධිය පැවසීමට සිය නිවෙස වෙත යන අතරතුරේ, බෙනීගේ මනසේ සුළි කුණාටුවක් කැරකෙමින් තිබූ අතර එහි මූලයේ සිටියේ ‘රොනල්ඩ් ෆ්ලොයිඩ් වයිට්’ නමැති සිය සමාගමේ විකුණුම් නියෝජිතයෙකු ලෙස සේවය කල අයෙකි. පසුගිය වසන්ත සමයේ ඔහු සිය රැකියාවෙන් අස්ව ගියේය. මේ පුද්ගලයා එක්තරා තක්කඩියෙක් බව බෙනීට හැඟී තිබුණේය. මෙම හැඟීම තීව්ර කරනුයේ රොනල්ඩ් තුවක්කු වලට දැක් වූ ගිජු කමත් තමාව කුලී භටයෙකු ලෙස අමතනවාට ඇති කැමැත්තත් හේතුවෙනි.

එකවරම මෙසේ විසීරී තිබූ සිතුවිලි එක් වී පැහැදිලි පින්තුරයක් බෙනීගේ සිතේ මැව්නේය. බෙනිට ප්‍රහේලිකාවක් වී තිබුණේ ඩොලර් 75,000 කප්පම් මුදලයි. ඇයි උන් හරියටම මේ ගානම ඉල්ලුවේ? ඇයි උන් මේ වගේ තුන් ගුණයක් ඉල්ලුවේ නැත්තේ? මිට මාස කිහිපයකට උඩදී ඩොලර් 80,000 කට සිය දේපලක් විකිණූ බව ඔහුට මතක් විය. ඒ පිළිබඳව රොනල්ඩ් දැනගෙන සිටි අතර තම පෙර සේවායෝජකයා සතුව එම මුදල් සුරැකිව තිබූ බවද දැන සිටියේය. තම පුත්‍රයා පැහැරගෙන ඇත්තේ රොනල්ඩ් වයිට් බවට බෙනීට දැන් කිසිදු සැකයක් නැත්තේය.

පෙරදින රාත්‍රී 9.30 ට පමණ මයිකල් බෝකොම් සිටියේ ‘සැන්ටා ෆේ’ හි පිහිටි සිය තනිකඩ නිවසේ රුපවාහිනි යන්ත්‍රය ඉදිරිපිටට වීය. එම නිවාසය පිහිටා තිබුණේ ඔහුගේ පියාට අයත් කර්මාන්තශාලාවේ සිට මයිල හතක දුරින්ය. මේ වෙලාවේ දොරට වැරෙන් පහර තුනක් වැදුණු බැවින් කව්දැයි බැලීමට දොර ඇරිය විට මයිකල් දුටුවේ ඔහු දෙස බලා සිටිනා මැග්නම් .357 තුවක්කු කාණුවකි. පිස්තෝලය අතැතිව සිටි පුද්ගලයා හට දිගු කොණ්ඩයක් තිබුණු අතර ඔහුද සිය වයසේ පසුවන්නෙක් බව මයිකල්ට වැටහිණ. ඔහුට පිටු පසින් සිටි පුද්ගලයා සතුව කාලවර්ණ කෙස් කළඹක් වූ අතර ඔහු අත පතරොම් තුවක්කුවක් විය. ඔවුන් විසින් බලහත්කාරයෙන් මයිකල්ව කුස්සිය දෙසට රැගෙන ගොස් ඔහුගේ දෑත් බැඳ, ඇස් දෙක රෙදි කඩකින් බැඳ කටටද ටේප් පටියක් අලවන ලදී. ඉන්පසු ඔහුව ඔහුගේම වාහනය වෙත රැගෙන ගොස් එහි දමාගෙන යන්නට ගියෝය.

ඡායාරුපය මෙතනින්


ඔවුන් හොව්ස්ටන් හරහා උතුරු දෙසට පැය බාගයක් පමණ ගමන් කොට පිවිසියේ ඝනව වැඩුණු ගස් වලින් හෙබි හුදකලා වූ පෙදෙසක අතහැර දැමු තෙල් පිරිපහදු භුමියකටයි. කප්පම්කරුවන් ටේප් රෙකෝඩරයක් ආධාරයෙන් මයිකල් ලවා වෙන වෙනම පණිවිඩ දෙකක් පටිගත කෙරෙව්වේය. බෙනී හට අසන්නට ලැබුණේ ඉන් පළමු වැන්නයි. ඉන් දෙවැනි පණිවිඩය මෙසේ විය. 

“නැගෙනහිර හොව්ස්ටන්වල ඇති සාන්ත ජසින්ටෝ පිළිමය දිහාට යන්න. ලින්ච්බර්ග් පාලම් පාරුවෙන් එගොඩ වෙලා දහවෙනි උප ප්‍රාන්තේ පැත්තට ඇති පාර දිගේ ගිහින් 'මිනිට් මෑන්' ග්‍රොසරියේ වාහන නැවතුම ළඟ ඇති පොදු දුරකතනය ළඟට වෙලා ඇමතුමක් එනකන් බලාගෙන ඉන්න”

පටිගත කිරීම අවසන් වූ පසු, පෙර කී මිනිසුන් දෙදෙනා මයිකල්ව තෙල් ආකරයේ තිබූ වලක් දෙසට රැගෙන ගියේය. වල පතුලේ දැවයෙන් නිම වූ අඩි 8ක් දිග, අඩි 3ක් පළල සහ අඩි 2ක් උස පෙට්ටියක් විය.

“අපි උඹට දෙනවා පාන් බාගයකුයි වතුර බෝතලයකුයි” එකෙක් කිවේය. “දඟලන්නේ නැතුව ඉඳපන්. ඔක්කොම දේවල් හරියට උනොත් අපි දවස් දෙකකින් උඹව ගන්න එනවා”

උන් දෙදෙනා බලහත්කාරයෙන් මයිකල්ව පෙට්ටිය තුල බහා පියන වසා අඟල් තුන් කාලේ ප්ලාස්ටික් බට කෑලි හතරක් පියන මතින් පෙට්ටියට බැස්සුවේ හුස්ම ගැනීමට හැකි වීම සඳහායි. ඉන්පසු පස් දමා වල වසා දැමුවෝය. අවසන් වශයෙන් කාටවත් සැකයක් ඇති නොවනු පිණිස පරණ ටයර් කීපයක්ද වල මත විසුරුවා දමා ඔවුන් පිටව ගියේය.

ඡායාරුපය මෙතනින්  

තම භාර්යාව ග්ලෙන්ඩෙල් හට අසුභ ආරංචිය පැවසීමෙන් පසු, බෙනී බෝකොම් සැන්ටා ෆේහි පොලිස් ප්‍රධානී 'බ්‍රයන් ලැම්බ්' හට කතාකොට සිද්ධිය පැවසුවේය. විනාඩි දහයකින් පමණ ලැම්බ් නිවසට පැමිණ, බෙනිගෙන් තවදුරටත් ප්‍රශ්ණ කළේය. එහිදී බෙනි, වයිට් කෙරෙහි ඇති තම සැකය පිළිබඳවද ඔහුට හෙළි කළේය. අවසානයේදී බෙනිහට ඔහුගේ කාර්යාලයට ගොස් බලා සිටින ලෙස පවසා ලැම්බ් නැවත පොලිස් ස්ථානයට ගොස් එෆ් බී අයි එකටද දැන්නුවේය.

කාර්යාලයට නැවත යමින් ගමනේ බෙනී සිය පුත්‍රයාගේ ගෙදරට ඔළුව දමා යාමට අමතක නොකළේය. එහිදී අංගනය හිස් බව ඔහු දුටුවේය. කප්පම්කරුවන් සිය පුතාගේ වාහනයෙන්ම ඔහුව පැහැරගෙන ගොස් ඇති බව ඉන් ඔහුට පසක් විය. ඉන්පසු වියරුවෙන් මෙන් කාර්යාලය වෙත ගියේය. නැවත එලියට පැමිණ ක්‍රීඩා භාණ්ඩ විකුණන ස්ථානයක් වෙත ගොස් ගෙදරින් පිටවීමට පෙර කාරයේ පිටුපසට දාගත් මුව දඩයම පිණිස යොදාගන්නා රයිෆලයට උණ්ඩ පෙට්ටි දෙකක් මිලදී ගත්තේය. රයිෆලයට උණ්ඩ පිරවූ පසු බෙනී සිය ප්‍රධාන සැකකරු වන රොන් වයිට්ගේ නිවස පිහිටිදෙසට සිය රථය මෙහෙය වුයේය.

ඔහු පසුව පැවසු පරිදි එහිදී සිය පුතාගේ වාහනය දුටුවේ නම්, එහි සිටි සියලු දෙනාගේම අවසානය එය වෙන්නට තිබු බවක්ය. නමුත් වාහනය එහි නොවීය. එබැවින් නිවස දෙස ඇස ගසාගෙන සිටීමට ඔහු තීරණය කළේය. නමුත් කිසිවෙකු පැමිණියේ නැත. අවසානයේදී ඔහු හවස 5ට පමණ ළඟ තිබු කඩයකට ගොස් සිය කාර්යාලයට ඇමතුමක් දුන්නේය. එහිදී ඔහුව එෆ් බී අයි නියෝජිතයෙකු හා සම්බන්ධ කල අතර ඔහු ඉතා තැන්පත් අයෙක් විය. බෙනී හටඅදාළ ස්ථානයේම සිටින ලෙස කී නියෝජිත තැන ඔහුව ගෙදරට ඇරලවීමට නිලධාරින් පිරිසක් යැවීමට කටයුතු කළේය. ප්‍රාදේශීය පොලිස් ස්ථානයත් සමග කතා කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු එෆ් බී අයි වෙත පවරාගන්නා ලදී. බෝකොම් නිවසේ නිලධාරින් කිහිපදෙනෙකු රඳවා තැබූ අතර කර්මාන්තශාලාවේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් ස්ථාපනය කරන ලදී.

සැතපුම් 80 ක් පමණ උතුරු දෙස පිහිටි හුදකලා වූ භූමියක වැළලු ලී පෙට්ටිය තුලට වී මයිකල් ඔහේ වැතිරී සිටියේය. කෙසේ හෝ අඩි දෙකක් උස පෙට්ටියේ මුනින් අතට හැරීමට ඔහු සමත් වුයේය. දැන් ඔහු වැතිරී සිටින්නේ සිය උදරය ආධාරයෙනි. මෙම ඉරියව්වෙන් සිටීමේදී, පෙට්ටියේ පියන ළඟ ඇති පිරිද්දුමක වූ පටු විවරයක් ඔහුගේ ඇස ගැටුණි. ඔහු එය අතින් ඇද්ද කල විවරය තව විශාල විය. ඔහු සිය දෑත පෙට්ටිය පතුලට තබා සිය පිටින් පියන ඉහලට එසවීමට වැර දුන්නේය. එවිට පියන පෙට්ටියෙන් නිදහස් වූ නමුත් පිටත වූ පස්වල බරට එය ඇතුලට කඩා වැටෙන්නට ආසන්න විය. පෙට්ටිය තුලින් ලී කැබැල්ලක් කඩාගෙන එය හරහට සිටුවා වෙන්නට ගිය විපත්තියෙන් ගැලවීමට මයිකල්ට හැකිවිය. නමුත් පෙට්ටියේ පියනත් පතුලත් අතර පරතරය අඩුවූ බැවින් මුහුණ පතුලේ හොවා වැතිරී සිටීමට ඔහුට දැන් සිදුවී ඇත්තේය.

පසුදින උදෑසන; එනම් බ්‍රහස්පතින්දා 4.30 ට පමණ බෝකොම් නිවසේ දුරකථනය නාදවන්නට වුනි. දුරකථනය ඇමතු බෙනී හට සිය පුතුගේ පටිගත කල පෙර කී සුපුරුදු හඬ පටය ඇසුණේය. මෙවර ඔහුට යක්ෂයා ආරුඪ විය. "කියපන් උඹට කොහොමද සල්ලි ටික දෙන්නේ කියලා" ඔහු ගිගුරුවේය. හඬ පටය අවසානයේ කවුදෝ මිනිසෙකු අනෙක් පසින් කතා කරන්නට විය. "උඹට දවස් දෙකක් දෙන්නම් සල්ලි ලැස්ති කරගන්න". ඉන්පසු ඇසුනේ “ටකස්”' හඬින් දුරකථනය විසන්ධි කල හඬයි. මෙම සංවාදය තත්පර 25 ක් පමණ සුළු කාලයක් පැවති හෙයින් එෆ් බී අයි නිලධාරීන්ට ඇමතුම පැමිණි ස්ථානය තහවුරු කර ගැනීමට නොහැකි විය.

බෙනී සිය කාර්යාලයට ගොස් සුපුරුදු පරිදි වැඩ කිරීමට උත්සහ ගත්තේය. සාමාන්‍ය පරිදි විකුනුම්කරුවන්ගෙන් සහ ඉංජිනේරුවන්ගෙන් ඔහුට ඇමතුම් ගලා ආවෝය. නමුත් ඔහු බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම පැමිණියේ නොමැති බැවින් නොඉවසිලිමත් විය.. සන්ධ්‍යාවේ ඔහු නිලධාරින් සමග ගොස් කප්පම් ගෙවීම සඳහා මුදල් රැගෙන ආවේය. ඔවුන් ඩොලර් 5,000 ක් ඩොලර් 10 නෝට්ටු වලින් ගෙන, ඒවා හොර නෝට්ටු සමග කලවම් කර කප්පම් මුදල සැකසුවේය. ඇසුරුම අභ්‍යන්තරයේ ඉලෙක්ට්‍රොනික් ස්ථාන මාපකයක් ද සවි කරන ලදී.

අන්තිමේදී සිකුරාදා සවස බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම බෝකොම් නිවසේ දුරකතනයට පැමිණුනි. නාඳුනන  හඬකින් පැවසුවේ බෙනිට සිය කාර්යාලයට වී වැඩිදුර උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින ලෙසයි. රැක සිට පහර දීමට කර්මාන්තශාලාව කදිම ස්ථානයක් වූ බැවින්, පෙර සුදානම් කඩිනම් විය.

නිලධාරින් දෙදෙනෙක් බෙනීගේ ශරීර ආරක්ෂකයන් ලෙස රඟ පෑමට සුදානම් වී ඔහුට වෙඩි නොවදින ජැකට්ටුවක් අන්දවා එහි පොකට්ටුවට ටේප් රෙකෝඩරයක් දැම්මේය. ඔහුගේ කමිස සාක්කුවේ රේඩියෝ ට්‍රාන්ස්මිටරයක් ද සවි කරන ලදී. බෙනී ඔවුන්ගේ දසුනින් බැහැර වුවහොත් එමගින් ඔවුන්  අමතන ලෙස ඔහුට උපදෙස් ලබා දුනි.

මතු සම්බන්ධයි........  

(රිඩර්ස් ඩයිජස්ට් ඇසුරෙනි)

පසුවදන

පළමු ලිපියෙන් පස්සේ මොනවද ලියන්නේ කියලා හිත හිත ඉන්නකොට, අහම්බෙන් වගේ මේ කතාව රිඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තියෙනවා දැක්කා. ඕන එකක් වෙන්න කියලා පරිවර්තනය කරන්න පටන් ගත්තා. ඒත් හිතුවට වඩා  කල් ගත වුණේ, රස්සාවේ වැඩ වැඩි වුන  නිසයි. ඒක නිසා කතාවට ලුණු ඇඹුල් චුට්ටක් දාලා රස කරලා ගන්නනත් බැරි වුනා. ඊළඟ කොටසත් ඉතා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කතාව කියවාගෙන යද්දී මගේ මතකයට නැගුනේ මීට සමාන සත්‍ය කතාවක් අලලා නිර්මාණය කල බයිස්කෝප් එකක් ගැනයි. කැමති නම් ඒ පිලිබඳ විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්. 

එහෙනම් යාලුවනේ ජය වේවා !